ට්‍රම්ප්ගෙන් සාම සැලසුමක් එළිදක්වයි

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග කලාපය සඳහා වන සාම සැලසුම එළිදක්වා තිබේ.

 

ජෙරුසෙලම නගරය ඊශ්‍රායලයේ නොබෙදුණු අගනගරය බවට පත්කිරීමටත් එමගින් ප්‍රතිඥා දී තිබේ.

දිගු කාලයක් පුරා අපේක්ෂාවෙන් සිටි, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග කලාපය සඳහා වන සාම සැලසුම එළිදක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර ඉවුරේ ජනාවාස ඊශ්‍රායලයේ ස්වාධිපත්‍යයට යටත් ලෙසට අමෙරිකාව පිළිගන්නා බව එම සැලසුමේ දැක්වෙයි.

ජෙරුසෙලම නගරය ඊශ්‍රායලයේ නොබෙදුණු අගනගරය ලෙසින් තබන බවටත් ට්‍රම්ප්ගේ සාම සැලසුමේ සඳහන් කර තිබේ.

එමෙන්ම පලස්තීනය ස්වාධීන ප්‍රාන්තයක් බවට පත්කිරීමටත් ට්‍රම්ප් මෙහිදී යෝජනා කර තිබේ.

ධවල මන්දිරයේ පැවති සාම සැලසුම එළිදැක්වීමේ අවස්ථාවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙදන්යාහුද එක්ව සිටියේය.

ඊශ්‍රායලය, සාමය සඳහා දැවැන්ත පියවරක් ඉදිරියට තබා ඇති බව පැවසූ ට්‍රම්ප් මෙය පලස්තීන වැසියන්ට ලැබෙන අවසන් අවස්ථාව බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාම සැලසුම කුමන්ත්‍රණයක් බවත් සිය අයිතීන් අලෙවි කිරීමට හෝ කේවල් කිරීමට ඉඩ නොතබන බවත් පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් පවසයි.

ජෙරුසෙලම නගරය අලෙවි කිරීමට හෝ අදාළ කුමන්ත්‍රණකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩනොදන බවද පලස්තීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඊශ්‍රායල්- පලස්තීන ගැටුම ලොව දීර්ඝතම කාලයක් පැවති ගැටුම බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම ගැටුම අවසන් කිරීමේ අරමුණින් ට්‍රම්ප් සිය සාම සැලසුම කෙටුම්පත් කර තිබුණේ ඔහුගේ බෑණා වන ජාරේද් කුෂ්නර්ගේ භාරකාරත්වය යටතේයි.

මේ අතර ට්‍රම්ප්ගේ සාම සැලසුමට එරෙහිව ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් විරෝධතාවක් පවත්වා තිබුණි.

එමෙන්ම තුර්කිය, ජෝර්දානය ඇතුළු රටවල් කිහිපයකදීද සාම සැලසුම හෙළා දකිමින් විරෝධතා පවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News