වූහාන්හි සිසුන් තුළ ආරක්ෂිතව නේවාසිකාගාරවල

Share

කොරෝනා වෛරසය ආරම්භ වූ වූහාන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා සිසුන් නේවාසිකාගාර තුළ ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සිටින බව රජය සඳහන් කරයි.

 

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය සිසුන්ට සහනදායී ගුවන් ගාස්තු යටතේ ඕනෑම වේලාවක ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවත් රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් මේ වන විට රෝගය පැතිර යාම සහ රෝගය වැළඳීම අවම කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් අදහස් දැක්වූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

ඒ අනුව දෑත් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීම, ටිෂූ කඩදාසි භාවිතා කිරීම, අනවශ්‍ය ලෙස මුඛය නාසය හා දෑස් ඇල්ලීමෙන් වැළකීම, වනසතුන් ඇල්ලීමෙන් වැළකීම, උණ, කැස්ස වැනි රෝගී තත්ව ඇති පුද්ගලයන් මුඛ ආවරණ පැළඳීම, වැනි උපදෙස් සෞඛ්‍ය බලධාරීන් විසින්  ජනතාවට ලබා දී ඇති බව ඒ මහතා පැවසීය.

දැනට කොරෝනා වෛරසය චීනයෙන් පිටත ලෝකයේ රටවල් 14 ක පමණක් ව්‍යාප්තව ඇති අතර එම රටවල්වලින්ද වාර්තා වන්නේ ඉතාමත් සුළු රෝගීන් සංඛ්‍යාවකි. මේ වන විට කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 6000ක් පමණ වාර්තා වන අතර ඉන් 95%ක් වාර්තා වන්නේ චීනයෙනි.  ශ්‍රී ලංකාවේ තහවුරු කළ එක් රෝගීයකු පමණක් දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වෛරසය පැතිරයාම සාර්ථකව පාලනය කිරීමට මේ වනවිට චීනයට හැකිවී ඇති බවත්, කොරෝනා වෛරසය අනෙක් වෛරස්වලට වඩා පැතිරීමේ වේගය වැඩි වුව ද වෛරසයේ දරුණු භාවය මෙන්ම මරණයට පත්වීම අඩු මට්ටමක පවතින බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News