ඉදිරි මාස තුන තුළ පොලිසිය දැඩි වෙයි – වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට ත්‍යාග

Share

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමටත්, දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක යෙදවීමටත්, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරි මාස තුන තුළ දැඩි කිරීමටත් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇති අතර එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසූවේ ඊයේ (05) රාජගිරිය මැතිවරණ කොමිසන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

අද උදෑසන 6.00න් අවසන් වූ පසුගිය කාල සීමාවටම අදාළව මැතිවරණ පැමිණිළි 54ක් පොලිස් ස්ථානවලට ලැබී තිබෙනවා. ඒවානම් අලාභහානි කිරීම් බැණ තර්ජනය කිරීම් වැනි සිද්ධීන්ය. පැමිණිළි 54ට අදාළව අපි සැකකරුවන් 38ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ 38 අතර අපේක්ෂකයන් 08 දෙනකු සිටිනවා. මේ අපේක්ෂකයන්ගේ පක්ෂය කුමක්ද යන්න අපට වැඩක් නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ අපේක්ෂකයෙක් යම් වරදක් කළා ද යන්න පමණයි. එවිට අප අත්අඩංගුවට ගැනීමට පැකිලෙන්නේ නැහැ. අපේක්ෂකයන් අට දෙනාගෙන් එක් අපෙක්ෂකයෙක් අද වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පොලිසිය විසින් සිදුකරන වැටලීම් අත්අඩංගුවට ගැනීම් අද උදේ 6 දක්වා පසුගිය කාලසීමාව තුළම වැටලීම් 29ක් කර තිබෙනවා. ඒවා නම් වාහනවල ශබ්ද විකාශන යන්ත්‍ර බැඳ ගෙන යන සිදුවීම්, නීති විරෝධී පෙළපාළි යාම්, නීති විරෝධී ලෙස පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීම් ආදියයි. මේ වැටලීම් 29 දී සැකකරුවන් 65ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් 65 අතරත් අපේක්ෂකයන් 04 දෙනකු සිටිනවා.

විශේෂ තීරණයක් ගෙන තිබෙනවා එම තීරණය සෑම පොලිස් ස්ථානයකටම දැනුම් දී තිබෙනවා. මෙවැනි වැටලීමක් සිදුකිරීමේ දී අපි නඩු භාණ්ඩත් අත්අඩංගුවට ගන්නවා. උදාහරණයක් ලෙස කටවුට්, අත් පත්‍රිකා, පොස්ටර් වාහන, මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් බෙදන උපකරණ විය හැකියි. ඒවා අත්අඩංගුවට ගැනීමෙන් පසු සෑම පොලිස් ස්ථානයකටම දැනුම් දී තිබෙනවා ඒ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගත් දින සිට දින දෙකක් ඇතුළත පොලිස් මුලස්ථානයේ තිබෙන මැතිවරණ ලේකම් කාර්යාලයට ඒ අත්අඩංගුවට ගත් භාණ්ඩ මොනවාද ඒවායේ වටිනාකම දැනුම් දෙන ලෙසට. අපි සතියකට එක් වාර්තාවක් බැගින් එම වටිනාකම් මැතිවරණ කොමිසමට එවන්න. එහි බලපෑම තමයි එක් එක් අපේක්ෂකයකුට අදාළව තමයි එම වාර්තාව එන්නේ. එසේ එවූ විට කවද හරි ඒ අපේක්ෂකයා සම්බන්ධව ඔහුගේ වත්කම් පිළිබඳ ඔහුගේ නඩු කටයුත්තකට හෝ ඡන්ද පෙත්සම් විභාගයක දී හෝ එය සාක්ෂියක් බවට පත්වෙයි ඉදිරි දිනවලදී. දැන් අපි ඒ කාර්යය ආරම්භ කර තිබෙනවා. අපි සතියකට වරක් බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසන් සභාවට එම වටිනාකම් එවන්න.

Read more

Local News