මුරණ්ඩු ආණ්ඩුව පළවා හරින්නට ජනතාව දුන් සහාය ගැන දිනේෂ් කියයි

Share

ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රගතිශීලී වෙමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යවන්නට යෝධ සෙවනැල්ලක් වු බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය  ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

 

අවුරුදු හතරහමාරට මුරණ්ඩු දේශ විරෝධී ආණ්ඩුව පළවා හරින්නට කොයි තරම් දුෂ්කර ගමන් මාර්ගයක යෙදුණාද ලෙස ප්‍රශ්න කළ අමාත්‍යවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාත්, ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාත් ජනතාවත් එක්ක ගත්ත ඒ පියවරවල් නිසා මාතෘ භූමියට ජීවත් වීමට පුළුවන් කමක් ලැබි ඇති බවයි.

ජනාධිපතිවරණයට ස්තූතිය පලකිරීමේ ජනහමු මාලාවක් පසුගිය කාලය පුරා විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ප්‍රදේශ කිහිපයක පැවැත්විණි.

බෝපෙ ප්‍රදේශයේදී පැවති එබඳු ජනහමුවකදී අමාත්‍යවරයා ජනාධිපතිවරණයේදී සිය ඡන්දය සෞභාග්‍යයේ  දැක්ම ජයග්‍රහණය කරවීම සඳහා දායකවූ සැමට සිය ස්තූතිය පුදකර සිටියේය.

“අපිට රටක් ඉතුරු කරගන්න පුළුවන් කියන තමුන්නාන්සේලා වගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අද සාධාරණය ඉටු වෙලා තියනවා.

වෙනදා නම් ආණ්ඩුව ගෙදර යැව්වාම ජනාධිපති කෙනෙක් පත්වුණාම ඒ ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

නමුත් මේ අවස්ථාවෙදි එහෙම බැරි වුණා. ඒ බැරි වුණේ පසුගිය යූඑන්පී ආණ්ඩුව පාර්ලිමේන්තුවට 19 වෙනි සංශෝධනය ගෙනල්ලා අවුරුදු හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලා පණතක් සම්මත කරගත්තා. මට මතකයි එදා රාත්‍රියෙ විනාඩි 40 ක් මගේ අතුරු යෝජනාව වාද කළා.

අපි කිව්වා නෑ ජනාධිපතිට තියන විසුරුවා හැරීමේ බලතලය තියා ගන්න ඕන කියලා  නමුත් ඒ පණත සම්මත කළා. ඒ අනුව අවුරුදු හතරහමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට විසුරුවන්නට බැරිව තිබෙනවා.  රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව මතකයිනේ.

ජාතික නිදහස් දිනය සමරලා හිටපු ජනාධිපතිතුමිය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාර් එක ලඟට ඇවිදගෙන ගිහිල්ලා ආයුබෝවන් කියලා රාත්‍රියෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

රනිල් කොහෙද කියලා හොයනකොට බෙන්තොට හෝටලයේ එයා සතුටින් මිත්‍රයන් එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක හිටියා. එතකොටයි එයා දන්නෙ පාර්ලිමේන්තුව ගෙදර යැව්වා කියලා.

ඉතින් ඔබ දුන් විශ්වාසය ජනාධිපතිතුමාට සනාථ කරමින් මාර්තු මාසෙ දෙවනිදා රාත්‍රී වෙනකොට එතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අතට අරගෙන ඉන්නවා, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

ඊට පස්සෙ පාර්ලිමේන්තු මහා මැතිවරණයකින් අලුත් ශක්තිමත් ආණ්ඩුවක් පත්කර ගන්න පුළුවන්කම ලැබෙයි.”

Read more

Local News