ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018ක් පොදු සමා කාලය තුළ නැවත සේවයට

Share

ප්‍රකාශයට පත් කර තිබු පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව පවසයි.

 

ඒ අතර නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 8005 දෙනෙකු වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යළි සේවයට වාර්තා කිරීම සඳහා පසුගිය 05 වන දින සිට ලබාදී තිබු පොදු සමා කාලය ඊයේ(12) දිනයෙන් අවසන් විය.

එහිදී සැලකිය යුතු පිරිසක් යළි සේවයට වාර්තා කිරීම සතුටුදායක කරුණක් බව බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර පොදු සමා කාලයට සමගාමීව ප්‍රකාශයට පත් කර තිබු අනවසර ගිනි අවි භාරදීම සඳහා ලබාදී තිබු කාලය ද ඊයේ දිනයෙන් අවසන් වූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read more

Local News