කොරෝනා මරණ 2009ක් දක්වා ඉහළට

Share

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද(19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ, ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් අලුතින් වාර්තා වීමත් සමඟයි.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 75000 ඉක්මවා ඇති අතර ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පලාතෙන් පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1693කි.

මේ අතර සුවය ලබා ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 12000 ඉක්මවන බව වාර්තා වෙයි.

වෛරසය ව්‍යාප්ත වූ දින සිට මෙතෙක් සිදුකළ ගවේෂණ ඇතුළත් පළමු  සහ විශාලතම අධ්‍යයන වාර්තාව චීනයේ සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ආසාදිතයින් අතරින් සියයට 80 ක් පමණ අඩු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඉහළම අවදානම තිබෙන්නේ වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයින්ටයි.

වූහාන්හි ප්‍රමුඛ පෙළේ රෝහලක් වන වූචැං රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියු ෂිමින්ග් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන මාධ්‍ය ඊයේ වාර්තා කළේය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද උදෑසන රෝහලෙන් මුදාහරින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ ඇය මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.

Read more

Local News