ජනපතිගේ අරමුණ

Share

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නීතිමය පසුබිම සැකසිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා විසින් එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපතිවරයා පවසයි.

බලපත්‍ර නිකුත් කිරීමේ දී ගතවන කාලය හැකි උපරිමයෙන් අඩු කර විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබාදී තිබේ.

වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාතේ ජලජීවි උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලබාදී නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවධානය යොමු කර ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද දැනුම් දී තිබේ.

පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීම ද අරමුණු කර ගනිමින් නීති රීති සම්පාදනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත.

Read more

Local News