ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ජනපති අතින් විවෘත වෙයි

Share

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

 

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.

දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකේ. මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂ කෙරේ.

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවම් පාලම විවෘත කිරීම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් සිදු විය. ගුවන් පාලම ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අනතුරුව පැවතී උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවම් පාලම හඳුන්වාදිය හැකි බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සමාජ අයිතීන් සහ මූලික අයිතිවාසිකම් මෙන්ම මාධ්‍ය නිදහස ද පිරිහී තිබූ යුගයක මේ රටේ ජනතාව අලුත් ගමනක් යාමට 2015 ජනවාරි 08 වනදා තමන් මේ රටේ රාජ්‍ය නායකයා ලෙස තෝරාගත් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ගතවූ තෙවසර තුළ රට ඉදිරියට ගෙන යාමට තිබූ අභියෝග රැසක් ජයග‍්‍රහණය කරමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට තමාට හැකි වූ බවද කියා සිටියේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News