කොවිඩ් මරණ 2244 දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2244ක්.

 

ඒ අනුව ගතවූ පැය 24 තුළදී මරණ 115ක් අලුතින් වාර්තා වී තිබේ.

මේ අතර ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවයි.

නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී වාර්තාවූ මරණ 115ත් සමග අදාළ වෛසරයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 2244 දක්වා ඉහළගොස් තිබේ.

එම පළාතෙන් නව ආසාදිතයන් 411දෙනෙක් හමුවී තිබෙන්නේ ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයන් ගණන හැත්තෑහය දහස් එකසීය දක්වා ඉහළ දමමින්.

කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් දා හත්දහසකට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් රටට දිගුකාලීන බලපෑමක් ඇති නොවන බව චීන ජනාධිපති ෂී ජින් පින් තහවුරු කර තිබේ.

වෙහෙස මහන්සිවී වැඩි කිරීමෙන් රටට සිදුවන බලපෑම අවම කරගෙන සමාජ හා ආර්ථික ඉලක්ක සපුරාගන්නා බවද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන්.

වසංගතය සමඟ සටන් කිරීම සඳහා හැකියාව මෙන්ම ආත්මවිශ්වාසයද චීනය සතු බව ඔහු අවධාරණය කරයි.

හුබෙයි පළාතේ වූහාන් නගරය ආශ්‍රිතව අසාමාන්‍ය නිව්මෝනියා තත්ත්වයක් පැතිර යන බවට චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්වරට දැනුවත් කළේ පසුගිය දෙසැම්බර් 31වන දායි.

මුහුදු ආහාර වෙළඳපලක සේවකයන් පිරිසක් මේ රෝගයට ගොදුරුවී ඇති බවට හඳුනාගැනීමත් සමග ජනවාරි පළමුවන දා අදාළ වෙළඳපල වසා දැමීමට පියවර ගත්තේය.

අනතුරුව මෙම රෝගය ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය අතර චීනය පමණක් නොව ලොව තවත් රටවල් රැසක්ද එහි ගොඳුරු බවට පත්විය.

නව කොරෝනා වෛරසයක් හේතුවෙන් මෙම නිව්මෝනියා රෝගී තත්ත්වය පැතිර යන බවට හඳුනාගත් අතර එම වෛරසය කොවිඩ් නයින්ටීන් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව පියවර ගත්තේය.

Read more

Local News