තමාට එරෙහිව ඇති චෝදනාවලට තමන් නිවැරදිකරු බව සජින් වාස් අධිකරණයට කියයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් රුපියල් තිස් කෝටියකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි තමාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (25) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

 

සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය විවෘත අධිකරණය හමුවේ කියවනු ලැබුවේය.

ඊට තමන් නිවැරදිකරු බව විත්තිකාර සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර ඒ අනුව මෙම නඩුවේ පැමිණිලිකරු වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.

වසන්ත සමරසිංහ මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ 2015 වසරේ ජනවාරි මස 8 වනදා ආණ්ඩු පෙරළියෙන් පසුව එවක පැවති රජයේ පාර්ශවකරුවන් විසින් සිදු කළ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා වංචා පිළිබඳව පැමිණිලි තම සංවිධානය වෙත ගලා ආ බව කියා සිටියේය.

ඒ අනුව සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව ලැබුණු දූෂණ සිද්ධියකට අදාළ තොරතුරු තමා 2015 වසරේ ජනවාරි මස 30 වනදා තමා ලිඛිතව රහස් පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඉන් පසුව ඊට අදාළව පෙබරවාරි මස 4 වනදා කටඋත්තරයක් ලබා දුන් බව ද සාක්ෂිකරු සඳහන් කළේය.

මෙහිදී සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න මතුකරමින් විත්තිකරුට එරෙහිව රහස් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළේ තහවුරු කරගත් නිශ්චිත තොරතුරු නොමැතිව නොවේදැයි විමසා සිටියේය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කළ වසන්ත සමරසිංහ මහතා තම සංවිධානයට ලැබුණු තොරතුරු පැමිණිලි වශයෙන් රහස් පොලිසිය වෙත ඉදිරිපත් කළ බව පැවසුවේය.

තම සංවිධානය විමර්ශන සිදු කරන සංවිධානයක් නොවන බවත් යම් දූෂණයක් පිළිබඳව තොරතුරු ලැබුණු විගස ඒවා විමර්ශන පැවැත්වීම සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම පමණක් තම සංවිධානය විසින් සිදුකරන බවද මෙහිදී වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 27 වනදාට කල් තැබුණි.

2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස රුපියල් තිස් කෝටියකට අධික වත්කම් හා මුදල් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News