නැවත කුලී රථ රියදුරන්ට පහරදෙන්න බෑ

Share

සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත හා සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට ලිපියක් යවමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඊට අදාළ ව ගත් පියවර සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙසයි.

දිවයිනට පැමිණෙන සංචාරකයන් අදාළ කුලී රථයේ සිටියදී ම එම කුලී රථ රියදුරාට වෙනත් කුලී රථ රියදුරන් හෝ මැර කණ්ඩායම් පහරදෙන හා තර්ජනය කරනු ලබන සිදුවීම් ඇතුළත් ඇතුලත් දර්ශන කීපයක් පහුගිය කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.

මෙම දර්ශන වලට අදාල සිද්ධීන් පිළිබද ව සොයා බලා අදාළ වගකිවයුත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා දැනටමත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීමට අමාත්‍යංශය පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.

දිවයින පුරා ඇති සංචාරක කලාප ආශ්‍රිත ව කුලී රථ සේවවේ නිරත ඇතැමුන් පික්මී, ඌබර් වැනි ජාත්‍යන්තර යෙදවුම් හරහා සංචාරකයන් කුලි රථ සේවාවන් ලබා ගැනීමට විරෝධය පළ කරයි.

පහුගිය දිනවල සමාජජාලා වල විකාශය වූ බහුතරය එවැනි සිද්ධීන්ය.

අවාසනාවන්ත තත්ත්වය වන්නේ සංචාරකයන් සිටියදීම මෙලෙස අශෝභන ලෙස හැසිරීමයි.

මේ නිසා ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත් වන බවත් මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට ද ප්‍රබල ලෙස බලපාන බවත් ඇමතිවරයාගේ අදහසයි.

මේ නිසා දිවයින පුරා සිටින සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බව ඇමතිවරයා කියයි.

දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම වැඩසටහන් ආරම්භ කර තිබේ.

දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඇමතිවරයා අවධාරණය කරයි.

Read more

Local News