ඇමති දිනේෂ් අද ජිනීවා සැසිය අමතයි

Share

මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජීනීවා නුවරට පැමිණ තිබේ.

 

අද දිනයේදී 26 වැනි බදාදා අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ (HRC) ඉහළ මට්ටමේ අංගය ඇමතීමට නියමිතව ඇති අතර, 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු මස 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කොට සකස් කරන ලද, 2019 මාර්තු මස 40/1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ යෝජනා සම්මුතිය සඳහා සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයන් වෙත දැනුම් දීමට නියමිතය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් පෙබරවාරි 27 වැනි දින සිදුකරන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු ඉදිරිපත් කිරීම්වලට අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිතව තිබේ.

මේ අතර පෙබරවාරි 28 වැනි සිකුරාදා, අමාත්‍යවරයා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය හමුවීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා, විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක්සත් ජාතීන් සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.කේ. ලෙනගල මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ කනිෂ්කා බාලපටබැඳි මහත්මිය, ආරක්ෂක අමාත්‍යාංශයේ බ්‍රිගේඩියර් ඊ.එස්. ජයසුන්දර මහතා සහ විදේශ සබඳතා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සුබාෂ් ශ්‍රී විජේතුංග මහතා වත්මන් සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිතයින් අතර වේ.

ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය සහ අදාළ කාර්ය මණ්ඩලය මෙම සැසිවාරයේ දී සහ රැස්වීම්වල දී මෙම නියෝජිත පිරිස සමඟ එක්වනු ඇත.

ජිනීවාහි ගතකරන කාලසීමාව අතරතුර දී, අමාත්‍ය ගුණවර්ධන මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOG), ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) යන ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) මහලේකම්වරයා හමුවනු ඇත.

Read more

Local News