බැසිල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

Share

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩුව විභාගයට දින නියම කර තිබේ.

 

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවි නැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න රජයේ මුදල් මෙලෙස සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඒ මහතාට චෝදනා එල්ල කර ඇත.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය අගෝස්තු මස 6 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැදවනු ලැබුවේය.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවත් ඒවායේ පිටපත් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය බවත්ය.

ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ප්‍රකාශ ඔවුන්ට පරික්ෂා කිරීමට ඉඩ දී ඒවා ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 6 වනදා ආරම්භ කරවීමටද විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවට දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News