නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පණවා තිබූ විදේශ ගමන් තහනම ජුලි මස 23 වනදා දක්වා ඉවත්කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් ගොනුකර තිබූ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකෙරුණි.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල උපදෙස් විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නැවත ජූලි මස 23 වන දා කැඳවන ලෙස නියම කළ අතර මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහි කැඳවීමක් නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසද නියම කළේය.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින්ට පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාල විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කළේය.

Read more

Local News