කොවිඩ් ආසාධිතව සිට සුවය ලැබූ කතකට යළිත් වැළදෙයි

Share

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්රේසස් පවසයි.

 

මේ අතර නව කොරෝනා වෛරසය ආසාධිතව සුවය ලබා යළිත් එම රෝගයට ගොඳුරුවූ කාන්තාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා විය.

කොවිඩ් 19 වෛරසයෙන් මේ වන විට ලොව පුරා රටවල්වලින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 2858ක්.

ඊයේ දිනයේදී දකුණු කොරියාවෙන් තවත් මරණයක් වාර්තාවී ඇති අතර ඒ සමග එරටින් වාර්තාවූ මුළු මරණ සංඛ්‍යාව 13දක්වා ඉහළ ගොස් තිබේ.

නව කොරෝනා වෛරසයෙන් චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ රට දකුණු කොරියාව වන අතර මේ වන විට එරටින් වාර්තාවී ඇති මුළු ආසාදිතයන් ගණන 1766ක්.

ජපානයේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට 900 ඉක්මවයි.

මේ අතර වෛරසය ආසාදනයවී සුවය ලැබූ කාන්තාවකට යළිත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ පුවතක් ඔසාකා නගරයෙන් වාර්තා විය.

අදාළ කාන්තාව සංචාරක බස් රථයක මාර්ගෝපදේශිකාවක් ලෙස කටයුතු කරන බවත් විදෙස් වාර්තාවල සඳහන්.

වෛරසය පැතිරීම හේතුවෙන් අප්‍රේල් මාසය තෙක් එරට පාසැල් වසා තැබීමටත් අගමැති ෂින්සෝ අබේ පියවර ගෙන තිබේ.

නව කොරෝනා වෛරසයන් ඉරානයේ මරණ 26ක් සිදුව ඇති අතර එරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන 270ක්.

ඉරාන රජය ප්‍රවාහන වාරණයක් පනවා ඇත්තේ, රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහායි.

ඉරානයට අමතරව මැදපෙරදිග රටවල් රැසක මේ වනවිට නව කොරෝනා වෛරසය දැඩිව පැතිර යන අකාරය දක්නට ලැබෙයි.

මේ හේතුවෙන් සෞදි අරාබියේ මක්කම සහ මදීනා නගරවල පූජනීය ස්ථාන වෙත පැමිණෙන වන්දනාකරුවන්ට රටට ඇතුළුවීම තහනම් කර තිබේ.

යුරෝපා කලාපයේ සීඝ්‍රයෙන්ම වෛරසය පැතිර යන රට වන ඉතාලියේ මේ වන විට මරණ 14ක් සිදුව තිබේ.

එරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන අද වන විට දැක්වෙන්නේ 650ක් ලෙසයි.

මේ අතර සිය රටේ පළමු කොරෝනා ආසාදිතයා හමුවූ බව නයිජීරියාව අද නිවේදනය කළේය.

අදාළ පුද්ගලයා හඳුනාගෙන තිබෙන්නේ එරට ලාගොස් ප්‍රාන්තයෙන්.

එමෙන්ම නෙදර්ලන්තයෙන් හා උතුරු අයර්ලන්තයෙන්ද  පළමු වරට කොරෝනා ආසාදිතයන් හමුවී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තියේ තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්රේසස් පවසයි.

අනාගතයේ දී වෛරසය වසංගත තත්ත්වයකට පත්විය හැකි බවත් ඔහුගේ ප්‍රකාශයේ දැක්වෙයි.

අඛණ්ඩව දෙවන දිනටත් චීනයෙන් බැහැරව වෛරසයේ දැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙඩ්රොස් ඇඩනොම් මෙලෙස අදහස් දක්වා තිබුණි.

Read more

Local News