රටවල් 50 ඉක්මවා කොරෝනා ව්‍යාප්ත වෙයි

Share

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් අසාදිතයින් අද වනවිට ලෝකයේ රටවල් 50කට වැඩි සංඛ්‍යාවකින් වාර්තා වී ඇත.

 

කොරෝනා මරණ සංඛ්‍යාව  2923 දක්වා ඉහළ ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය පැතිරීමේ ගෝලීය අවදානම උපරිම මට්ටම දක්වා ඉහළ නංවා ඇත.

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් අද වනවිට ලෝකයේ රටවල් 50කට වැඩි සංඛ්‍යාවකින් අසාදිතයින් වාර්තා වී තිබේ.

අයිස්ලන්තය, නයිජීරියාව, මෙක්සිකෝව, නවසීලන්තය, බෙලරුස් සහ නෙදර්ලන්තය යන රටවල් කොරෝනා අසාදිතයින් වාර්තා වූ නවතම රටවල් බවට පත්වුණි.

චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ දකුණු කොරියාවෙන් අද වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,300කට අධිකයි.

එමෙන්ම පුද්ගල මරණ 16 ක් එරටින් වාර්තා වෙයි.

මේ අතර ජපානයේ යොකෝහමා වරායේ   නිරෝධායනය කර තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි  බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මියගිය හයවන මගියා මෙම පුද්ගලයා බව ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා වන්නේද ඔහුයි.

චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, ඉරානයෙන්.

ඉරානයේ සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග බීබීසී පර්සියානු සේවය වෙත පැවසුවේ බ්‍රහස්පතින්දා සවස් වන විට ආසන්න වශයෙන් පුද්ගලයින් 210 ක් වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවයි.

මෙය රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට වඩා හය ගුණයකින් වැඩි අගයක්.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය පැතිරීමේ ගෝලීය අවදානම උපරිම මට්ටම දක්වා ඉහළ නංවා තිබෙයි.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ වෛරසය සම්ප්‍රේෂණය වන දාමය බිඳ වැටුනොත්  එය මර්දනය කිරීමට තවමත් අවස්ථාව පවතින බවයි.

එමෙන්ම  ජය ගැනීමට ඇති විශාලම අභියෝග වන්නේ අනිසි බිය සහ අසත්‍ය තොරතුරු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්හැනොම් වැඩිදුරටත් අවධාරණය කළේය.

Read more

Local News