ලොව පුරා කොරෝනා ගණන 9277 ඉක්මවයි

Share

නව කොරෝනා වෛරසයේ මුල්ම මරණය වාර්තා වූ දිනයෙන් පසු චීනයේ කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ පළමු දිනය බවට ඊයේ (18) දිනය පත් විය.

 

කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් ඕනෑම රටක එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන වාර්තා වූයේද ඊයේ දිනයේදීයි.

ඉතාලියෙන් වාර්තා වුණු එම මරණ ගණන 475 ක්.

චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකරමින් ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය මේවන විට ලොවපුරා රටවල් 176ක ව්‍යාප්තව තිබේ.

ඉන් වාර්තා වී ඇති මුළු මරණ ගණන 9,277 ඉක්මවන අතර ආසාදිතයන් ගණන 225,628 කට අධිකයි.

චීනය තුළ කෙරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 3,250 ක් වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 80,928ක්.

වෛරස ආසාදනයෙන් සුව වූ සංඛ්‍යාව දැක්වෙන්නේ 70,547 ක් ලෙසින්.

ඊයේ දිනයේ වූහාන් ඇතුළු සමස්ත චීනයේ කිසිදු ප්‍රදේශයකින් ආසාදිතයෙකු වාර්තා නොවීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් චීන බලධාරීන් පවසන්නේ චීනය තුළ සංචාරක සීමාවන් ඉවත්කිරිමට නම් ඉදිරි දින 14 ක කාලය පුරාද කිසිදු නව ආසදිතයෙකු වාර්තා නොවිය යුතු බවයි.

එරටින් අවසන්වරට හඳුනාගැනුණු ආසාදිතයින් 34 දෙනා විදෙස් රටවලදී ආසාදනය වී චීනයට පැමිණි පුද්ගලයින් බවයි වාර්තාවන්නේ.

චීනයට පසු නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ලවු රට ලෙස සැලකෙන්නේ ඉතාලියයි.

ඊයේ දිනයේදී පමණක් ඉතාලිය තුළ මරණ 475 ක් වාර්තාවු අතර එය නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව ඕනෑම රටක, දිනක් ඇතුළත සිදුවූ වැඩිම නව මරණ සංඛ්‍යාව ලෙසටද වාර්තා වේ.

කෙරෝනා වෛරසයෙන් මිය ගිය අයගේ මළ සිරුරු ඉතාලි හමුදා ට්‍රක්රථ මගින් බෙර්ගමෝ නගරයෙන් පිටත ස්ථානයක් වෙත රැගෙන යන අයුරු විදේස මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊයේ දිනයේ සිදුවු මරණ සංඛ්‍යාව සමගින් ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 2, 978 ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 35,713ක් ලෙසින්.

මේ අතර ඉතාලිය තාවකාලිකව අකර්මණ්‍ය කර තැබීමට එරට රජය පියවර ගැනීම නිසා ඉතාලියේ ප්‍රමුඛ සංචාරක ආකර්ෂණ ස්ථානයක් වන වැනීසිය සංචාරකයින්ට වීවෘත කර නැත.

මේ හේතුවෙන් වැනිසියේ ඇළ මාර්ග රැසක ජල දූෂණය අවම වී ජලය වඩාත් පැහැදිලිව දිස්වන අතර ජලයේ සිටින කුඩා මසුන්ද දැකගැනීමට දැන් හැකියාව පවතියි.

මේ අතර රුසියාවෙන්ද ඊයේ පළමුවරට කොරෝනා මරණයක් වාර්තා විය.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් මරණ 598ක් වාර්තාවුණේ ආසාදිතයින් ගණන 13,716ක් බවට ඉහළ නංවමින්.

මේ අතර ප්‍රංශයෙන්ද ආසාදිතයින් 9,134ක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව දැක්වුණේ 264ක් ලෙසින්.

ප්‍රංශය තුළ මියගිය පිරිසෙන් සියයට 93 ක්ම වයස අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයින් වීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍යයෙන්ද සමස්ත කෙරෝනා මරණ 104ක් වාර්තා වී ඇත්තේ, ඊයේ වාර්තාවූ නව මරණ 33ත් සමගින්.

ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වූ බ්‍රිතාන්‍ය රජය , සිකුරාදා දිනයේ පටන් ක්‍රියාත්මක වන පරිදි සියලු පාසල් වසාදැමීමට පියවර ගෙන තිබේ.

මැදපෙරදිග කාලාපයේ කෙරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ ඉරානයයි.

ඉරානය තුළ ඊයේ දිනයේදී තවත් මරණ 147 ක් වාර්තාවු අතර ආසාදිත සංඛ්‍යාවද 1,192 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉරානයේ සමස්ත මරණ සංඛ්‍යාව 1,135 ක් වන අතර සමස්ත ආසාදිත සංඛ්‍යාව 17,361 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.‍

නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව 149 ක් වන අතර ආසාදිතයින් 8736 ක් ලෙස වාර්තා වේ.

මිය ගිය සංඛ්‍යාව අතුරින් 80% ක ප්‍රතිශතයක් වයස අවුරුදු 65 ක් සහ ඊට වැඩි පුද්ගලයින්.

පවතින තත්ත්වය හමුවේ අමෙරිකාවේ, ලාස් වේගාස් හී සියලුම සමාජශාලා සහ කැසිනෝ දින 30 ක් පුරා වසාදැමීමට තීරණය කෙරුණි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ අතර ඇතිකරගත් එකගතාවකින් අනතුරුව අමෙරිකානු සහ කැනේඩියානු දේශසීමා වසාදැමීමට තීරණය කර තිබේ.

මේ අතර සියලුම ඕස්ට්‍රේලියානු පදිංචිකරුවන් නොවන සහ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති පුද්ගලයින්ට රට තුළට ඇතුළුවීම තහනම් කරන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා අසාදිතයින් 565 දෙනෙකු වාර්තාවන අතර මියගිය සංඛ්‍යාව 6 ක්.

ඔස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක වන ක්වාන්ටාස්, ජෙට් ස්ටාර් ගුවන්සේවාවන්ද සිය ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවීමටද තීරණය කෙරුණි.

මේ අතර නවසීලන්තයද අද සිට විදෙස් සංචාරකයින්ට එරටට ඇතුළුවීම තහනම් කරනු ලැබුවේය.

Read more

Local News