බිම්බෝම්බ නිෂ්කාෂණ ක්‍රියාවලිය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්

Share

ශ්‍රී ලංකාවේ පුද්ගල නාශක බිම්බෝම්බ නිෂ්කාෂණ ක්‍රියාවලිය අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටින බැවින් ඉතාමත් කෙටි කාලයක් තුළදි අපේ රට පුද්ගලනාශක බිම්බෝම්බ වලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා බිම්බෝම්බ තහනම් කිරිමේ ව්‍යාපාරය පවසයි.

එසේම ශ්‍රී ලංකාව 2017 දෙසැම්බර් 13 වන දින පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරිමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තැබිම නිසා උතුරු නැගෙනහිර බිම්බෝම්බ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශයන්හි එම නිෂ්කාශන කටයුතු වේගවත් කර ගැනිමට හැකිවනු ඇතැයි එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක විද්‍යා අභයගුණවර්ධන මහතා ඊයේ (10) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදි පැවසිය.

යුද්ධය පැවැති උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු යුධ හමුදාව සහ තවත් සංවිධාන කිහිපයක් මගින් සාර්ථකව සිදුකරගෙන යයි. මේ නිසා 2017 වසරේ බිම්බෝම්බ වලට හසුවිමෙන් තුවාල ලබා ඇත්තේ දෙදෙනකු පමණි. වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල බිම්බෝම්බ නිසා විශාල සංඛ්‍යාවක් අනතුරට පත්වෙති. මේ අනුව ශ්‍රි ලංකාව බිම්බෝම්බ නිෂ්කාෂණය අතින් විශාල ප්‍රගතියක් ලබා ඇති බව ද ඒ මහතා කිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව බිම්බෝම්බ තහනම් කිරිමේ ප්‍රඥප්තියට අත්සන් තැබීම මගින් ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේදි ආර්ථික, සමාජ, ආරක්ෂණ සහ දේශපාලන වශයෙන් විශාල ප්‍රගතියක් අත්කර ගැනිමට හැකිවන බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බිම්බෝම්බ තහනම් කිරිමේ ව්‍යාපාරයේ උපදේශක ප්‍රසන්න කුරුප්පු මහතා සඳහන් කළේය.

Read more

Local News