පාර්ලිමේන්තුව තුළ ගුටි බැට හුවමාරුවක්

Share

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අරමුණින් ඊයේ (10) කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සැසිය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවිය. මෙලෙස මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇති වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඒ අතරතුරදීය.

බැඳුම්කර ගනුදෙනුව ගැන ජනාධිපති කොමිසම් වාර්තාව හා පැවති රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ දුෂණ අක්‍රමිකතා 34 ගැන සැකසූ වාර්තා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස පක්ෂ නායකයන් පෙරේදා (09) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලු නමුත් පාර්ලිමේන්තුව වෙත එම වාර්තා එවා නොතිබිණි.

ලබන 17 වෙනිදා මෙම වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන බව ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට දැනුම්දී තිබේ. ඒ නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් අනුවය.

වාර්තාව ඉදිරපත් නොකිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධය පළකළ අතර ඒ අතරතුර අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබාදීමත් සමග මෙම දැඩි උණුසුම් කාරී තත්ත්වය ඇතිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබාගැබ මැදට පැමිණ අගමැතිවරයාට විරෝධය පළකරමින් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එයට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකුත් සබාගැබ මැදට පැමිණීමත් සමග දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් සිදුවිය.

Read more

Local News