ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කළත් දිස්ත්‍රීක්ක හරහා ගමනාගමනය තහනම්

Share

දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක වලින් කොරෝනා වෛරසය අසාදිතයින් හමුවීම සහ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකීකයන් නිරෝධායනට ලක්නොවි සැඟව සිටිම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පසුගියදා දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

 

බස්නාහිර පළාත , උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රීක්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රීක්ක සඳහා පනවා තිබු ඇඳිරි නීතිය අද පෙ.ව 6.00ට ඉවත් කරනු ලැබුවේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහායි.

එලෙස ඉවත් කරනු ලැබු ඇඳිරි නීතිය එම දිස්ත්‍රීක්ක සඳහා නැවත අද ප.ව 2.00ට බලාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එසේම එම දිස්ත්‍රික්ක සඳහා නැවත මාර්තු 30 වන සඳුදා දින පෙ.ව 6.00ට ඇඳිරි නීතිය ඉවත් කර ප.ව 2.00ට යළි පැනවීමට නියමිතයි.

පුත්තලම දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වව්නියාව,මන්නාරම,කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා මේ වන විට ක්‍රියාත්මක ඇඳරි නීතිය හෙට පෙ.ව 6.00ට ඉවත් කර නැවත ප.ව 2.00 ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන්.

එම ප්‍රදේශ සඳහා නැවත මාර්තු 30 වන සඳුදා දින පෙ.ව 6.00ට ඇඳිරි නීතිය ඉවත් කර ප.ව 2.00ට යළි පැනවීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් යාපනය දිස්ත්‍රික්කය සඳහාත්  ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහාද නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

විටින් විට රජය විසින් ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කළ ද දිවයිනේ සියලු දිස්ත්‍රීක්ක හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම්  වන අතර විදේශිය සංචාරකයීන් තැනින් තැනට රැගෙන යාමද තහනම් කර තිබේ.

Read more

Local News