කොරෝනා පාලනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනාවලියක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉදිරිපත් කර තිබේ.

 

කරුණු 07කින් සමන්විත අදාළ ‍යෝජනාවලිය එම සංගමයේ නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.

රෝහල්වලට පැමිණෙන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහිත සියලු පුද්ගලයින් කොවිඩි නයින්ටීන් ආසාදිතයින්දැයි තහවුරු වන තුරු ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම හා ඔවුන්ට විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබාදීම එම යෝජනාවලියට ඇතුළත්.

වෛරසය පිළිබඳ සිදුකරන පරීක්ෂණ සහ නිර්ණායක පුළුල් කිරීම, ප්‍රතිකාර සේවා සිදුකරන සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා ආරක්ෂිත උපකරණ, ඇගලුම් වැනි දෑ නිසි ක්‍රමවේදයකට ලබාදීම වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස්කිරීම යන කරුණු අදාළ යෝජනාවලියට ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ මෙම යෝජනාවලිය පිළිබඳ විශේෂ අවධානය යොමුකර කටයුතු කරන බව එහිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කර තිබේ.

Read more

Local News