හෙට සිට අභ්‍යන්තර විදුලි-ජල පරිපථ දෝෂ සඳහා විශේෂ සේවාවක්

Share

විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට (05) සිට ක්‍රියාත්මක කර ඇත.

 

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය,  ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නගයි.

දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා බිදවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව හරහා පාරිභෝගික පරිශ්‍ර තුල පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල වල දෝෂ අලුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සළසා ඇත.

එම ගැටළුව මත පදනම්ව අභ්‍යන්තර දෝෂ නඩත්තුව සදහා ප්‍රෙද්ශයේ විදුලිකාර්මිකයෙකුගේ හෝ ජල නල කාර්මිකයෙකුගේ සහාය ලබාගැනීමට අදාල පාරිභෝගිකයාට පහසුකම් සලසනු ලැබේ.

ඒ සදහා දිස්ත්‍රික්කයේ පදිංචි විදුලිකාර්මිකයින්ගේ හා ජලනල කාර්මිකයින්ගේ තොරතුරු ගොනුවක් ද පවත්වාගෙන යයි. එම විදුලි කාර්මිකයින් හා ජලනල කාර්මිකයින් පිළිබද තොරතුරු අදාල පොලිස් ස්ථාන හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ලියාපදිංචි විදුලිකාර්මිකයින් හා ජලනල කාර්මිකයින්  විසින් අනුමත සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් හා ඇදිරි නීති කාලය තුල අනුගමනය කල යුතු මාර්ගෝපදේශ වලට අනුකූලව මෙම සේවාව සලසනු ඇත. ආරම්භයේදී දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක සදහා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.

අවශ්‍යතාවය අනුව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම විශේෂ තාක්ෂණික සහාය සේවාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.  විදුලිකාර්මිකයාගේ හෝ ජලනල කාර්මිකයාගේ සේවය ලබාගැනීමෙන් අනතුරුව ඒ සදහා ගාස්තු අයකිරීමේදී  සාධාරණ ගාස්තු අයකිරීමටත් ඒ සදහා පිළිගත හැකි ලදුපතක් නිකුත් කරන ලෙසද අදාල විදුලිකාර්මිකයින් හා ජලනල කාර්මිකයින්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව තම ජලනල පද්ධතියේ ගැටළුවක් සිදු වු විට ජලනල කාර්මිකයෙකුගේ සේවාව ලබාගැනීම සදහා 1939 අංකය අමතා අදාල ගැටලුව ඉදිරිපත් කල හැකියි.  ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පද්ධතියෙහි දෝෂයක් ඇති වු විට 1987 ඇමතීමෙන්ද ලෙකො විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පරිපථයෙහි දෝෂයක් ඇති වු විට 1910 අංකයද අමතා සහාය ලබාගත හැකියි.

ඊට අමතරව  මෙම සේවාවට අදාල වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දුරකතන අංක 0764271030 අමතන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා. එමෙන්ම විදුලිකාර්මිකයෙකුගේ හෝ ජලනල කාර්මිකයෙකුගේ සේවාව ලබාගත් පසු එම සේවාව පිළිබද පාරිභෝගිකයාගේ ප්‍රතිචාරයද අදාල අංක අමතා දන්වා සිටිය හැකි වේ.

ඇදිරි නීතිය බලපැවත්වෙන අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම සේවාව කඩිනමින් හදුන්වාදීමට නියමිතය. එසේම විදුලිකාර්මිකයින්ට සහ ජලනල කාර්මිකයින්ට වෘත්තීය බලපත්‍ර පිරිනැමීමෙන් අනතුරුව එම කාර්මිකයින්ගේ සේවාව ලබාගැනීම සදහා ඔවුන්ගේ තොරතුරු විදුලි හා ජල පාරිභෝගකයින්ට පහසුවෙන් ලබාගැනීමට වැඩපීළිවෙලක් ද මේ වසර තුලදී ක්‍රියාවට නැගෙනු ඇත.

මෙම සේවාවන් ලබාදීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම ඒකාබද්ධව අවශ්‍ය පියවර ගෙන තිබේ.

වැඩිදුර තොරතුරු සදහා

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් 0719998404 මහතා

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඉංජිනේරු වසන්තා ඉලංගසිංහ මහත්මිය 0773404140

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති  නීතිඥ අතුල ද සිල්වා මහතා 0777769787

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන, ජයනාත් හේරත් මහතා 0772943193 අමතන්න.

Read more

Local News