අාබාධිත ඡන්ද හිමියන්ට ඡන්දය ලකුණු කිරීමට සහායකයෙක්

Share

2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍ර‍ධාන ප්‍ර‍ඥ්ප්තියේ 54(2) වගන්තිය අනුව ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පිරිද නීතිමය ප්‍ර‍තිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූවෙකු විය යුතු අතර ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන අපේක්ෂකයකු නොවිය යුතුය. එමෙන්ම එම ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතුය. ඊට අමතරව කිසියම් අශක්නුතායකට පත් නොවූ අයෙකු ද විය යුතුය.

ඉහත සඳහන් පරිදි සහායකයකු කැටුව යාම සඳහා අදාළ පනතේ දසවන උපලේඛනය මඟින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම යෝග්‍යතා සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර‍ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ගෙන් ලබාගත හැකිය. අදාළ යෝග්‍යතා සහතිකයේ ආකෘතියක් මැතිවරණ කොමිසන් සභා වෙබ් අඩවිය (WWW.election.gov.lk) වෙත පිවිසීමෙන් ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. දෘෂ්‍යාබාධිත හෝ වෙනත් යම් ශාරිරික අශක්නුතාවට පත් පුද්ගලයා ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලුම් පත්‍ර‍යක් ලබාගෙන් සම්පූර්ණ කර භාරදීම ග්‍රාම නිලධාරීන්ගේ සහතිකය ලබාගත යුතු අතර ඉන් අනතුරුව එම සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. වෛද්‍ය නිලධාරීන් විසින් ඡන්ද හිමියා පරීක්ෂා කර එම ආකෘතියෙහි ඡන්දදායකයාගේ යෝග්‍යතාව සටහන් කර සහතික කරනු ලැබේ.

අශක්නුතාවට පත් ඡන්දදායකයා විසින් තමාගේ නිල ඡන්ද දැන්වීම්පත, ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන වෙනත් යම් හැඳුනුම්පතක් සහ මෙම යෝග්‍යතා සහතිකය රැගෙන සහායකයා ද කැටුව ඡන්ද පොළ වෙත යා යුතුය. ඡන්ද පොළ කාර්ය මණ්ඩලය විසින් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඡන්ද පොළේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු ලබන අතර, එම ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සමායකයා සමඟ ඡන්දදායකයා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබේ. සහායකයා ද තමාගේ ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබනා යම් හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යාවශ්‍යය.

ඉහත සඳහන් යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්ද පොළ වෙත සහායකයකු කැටුව යා නොහැකි බව මැතිවරණ කොමිසම අවධාරණය කරනු ලැබේ. ඡන්දය ප්‍ර‍කාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝග්‍යතා සහතිකය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත රඳවා ගනු ඇත.

කෙසේ වුවද සහායකයකු කැටුව ඒමට නොහැකි එවැනි ඡන්ද හිමියකු අවශ්‍ය වන්නේ නම් මීට පෙර ඡන්ද විමසීම්වලදී සිදු කළ ආකාරයටම තවත් නිලධාරීයෙක් ඉදිරියේදී ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලබා ස්වකීය ඡන්ද පත්‍රිකාව ලකුණු කරවා ගැනීමට අවකාශ ඇති බව ද මැතිවරණ කොමිසන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News