කොරෝනා තොරතුරු වසන් කළ බවට අමෙරිකාවෙන් චීනයට නඩු

Share

වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට අමෙරිකාවේ මිසූරි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී චීනයට චෝදනා එල්ල කළද චීනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වූ එරට පළමු ප්‍රාන්තය බවට මිසූරි ප්‍රාන්තය පත්වනු ඇති.

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිදුවූ වූ ජීවිත හානි හා ආර්ථිකයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් චීන රජය වගකිව යුතු බව මිසූරි ප්‍රාන්තය බලධාරීන් පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වූ රට වන අමෙරිකාවේ අද වන විට ආසාදිතයින් අට ලක්ෂ 19,164 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය චීනය විසින් රසායනාගාර තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වෛරසයේ මූලාරම්භය සතුන් හරහා සිදුවූවක් බවට තවදුරටත් විශ්වාස කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ කුසගින්නේ පෙළෙන්නන්ගේ  සංඛ්‍යාව ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය  අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ ප්රාධානී ඩේවිඩ් බීස්ලි පැවසුවේ ලොව කුසගින්නේ පෙළෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 135 සිට මිලියන 250 දක්වා වැඩි විය හැකි බවට අනුමාන කළ හැකි බවයි.

එම අවදානම දැඩි බලපෑමක් එල්ල කරන රටවල් 10 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යේමනය, කොංගෝ රාජ්‍ය , ඇෆ්ගනිස්ථානය , වෙනිසියුලාව, ඉතියෝපියාව , දකුණු සුඩානය ,  සුඩානය , සිරියාව, නයිජීරියාව සහ හයිටි යන රටවල් අවධානම් රාජ්ය යන් අතරට අයත් වන බව සඳහන්.

මේ සඳහා බලවත් රාජ්‍යන් මැදිහත්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත.

Read more

Local News