භූමිතෙල් සහනය අවභාවිතා කරන්නන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා – අර්ජුන රණතුංග මහතා

Share

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ ඉන්ධන කලවම් කිරීමක් ගැන හෝ භූමිතෙල් සහනය අවභාවිතා කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම අැති පොලිසියට දැනුම් දෙන ලෙසත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන ඒකකයත් හදිසි පරීක්ෂා කිරීම් සහ වැටලීම් දිනපතා සිදු කෙරෙන බවයි.

අපි පාඩු ලබා ගෙන භූමිතෙල් අලෙවි කරන්නේ සාමාන්‍ය ජනතාව සහනයක් ලබා දීමේ අමුණින්. මේ වන විට ඩීසල්වලට භූමිතෙල් කලවම් කරන බවට අවස්ථා කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී තිබෙනවා. විශේෂයෙන්ම භූමිතෙල්වල ලීටරයක මිල ඉතා පහළ මට්ටමක තිබෙන බැවින් කූට පුද්ගලයින් ඩීසල් වෙළඳාමෙන් ඉහළ ආදායමක් ලැබීමට ඊට භූමිතෙල් කලවම් කරන බවට වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඇතැම්විට බස්රථ සඳහාද ඩීසල් වෙනුවෙට භූමිතෙල් භාවිතා කරනවා.

මේ හේතුවෙන් භූමිතෙල් සහනය අවභාවිතා කිරීම ගැන අපේ අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීනිතගත සංස්ථාවත් දැඩි අවධානයෙන් සිටින්නේ. ඉදිරියේදී එවැනි ක්‍රියා සිදු කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අපි කටයුතු කරනවා. දැනටමත් අපේ අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන ඒකකයත් හදිසි පරීක්ෂා කිරීම් සහ වැටලීම් දිනපතා සිදු කරනවා. එවැනි වරදක් කර හසුවුණු, රසායනාගාර පරීක්ෂණවලින් එම වරද තවදුරටත් තහවුරු වුණු අයට විරුද්ධව අපි දැනටමත් නීත්‍යානුකූල පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව නාවුල පිරවුම්හලේ ඉන්ධන විකීණීම තහනම් කිරීමටත් කුරුණෑගල ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයට වෙත ඉන්ධන ප්‍රවාහන කරමින් සිටියදී ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීමේ වරදට උඩුගම්පොළ බන්ධන බවුසරයේ ඉන්ධන ප්‍රවාහන බලපත්‍රය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමත් කටයුතු කර තිබෙනවා. ඔවුනට විරුද්ධව රටේ නීතිය අනුවත් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන කලවම් කිරීමක් ගැන හෝ භූමිතෙල් සහනය අවභාවිතා කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසයි. එමෙන්ම
0728870624 සහ 0777748417 යන දුරකථන අංකවලින් හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News