දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමඟ පාරට බැසීමට වුවද සූදානම් – ජනපති

Share

ඊයේ (18) පස්වරුවේ කොස්ගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ඇතැමුන් ප්‍රශ්න කළත් තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයන්ට නිසි දඬුවම් ලබාදීමෙන් අනතුරුව බවයි.

දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමඟ පාරට බැසීමට වුවද සූදානම් බවත්, මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරන සියලු දේශපාලනඥයන් එක්කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව පැවසූ ජනාධිපතිවරයා ඊට එක්වන ලෙස මේ රටේ සියලු ආගමික නායකයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවට ගෞරවයෙන් ආරාධනා කරන බව ද කියා සිටියේය.

රටත්, ජාතියත් වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස කිසිසේත් අතපසු කළ නොහැකි අතර එම ගමන සාර්ථකව ඉදිරියට යාමට ආදර්ශවත් දේශපාලනඥයන් පිරිසක් රට තුළ ගොඩනැගිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

2015 ජනවාරි 8 වනදා සිදුවූ වරද නිවැරදි කිරීමට ආපසු හැරෙන්නැයි හිටපු නායකයන් මේ රට් ජනතාවගෙන් කරන ඉල්ලීම පිළිබඳ ද සිහිපත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ආපසු හැරෙන ලෙස ඔවුන් ඉල්ලන්නේ දුෂිත පාලනයක් මෙන්ම අතුරුදන්වීම්, මිනිස් ඝාතන, මාධ්‍යවේදින් මරා දැමීම සහ මාධ්‍ය ආයතන ගිනිගත් යුගයක් යළිත් මේ රටේ නිර්මාණය කිරීමට නොවේදැයි ප්‍රශ්න කළේය.

Read more

Local News