2020 දී නිෂ්පාදන ආරම්භ කරන හොරණ ටයර් කර්මාන්ත ශාලාව ලංකාවේ තිබෙන විශාලතම ටයර් නිෂ්පාදන කම්හල බවට පත්වෙනවා – අගමැති

39

හොරණ රිජිට් ටයර් කම්හල් වැඩිබිමේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ වර්ෂ 2020 දී නිෂ්පාදන ආරම්භ කරන හොරණ ටයර් කර්මාන්ත ශාලාව ලංකාවේ තිබෙන විශාලතම ටයර් නිෂ්පාදන කම්හල බවට පත්වෙන බවත් එමඟින් විදෙස් වෙළඳපොළ අත්පත් කරගැනීමට අවස්ථාව ලැබෙන බවයි.

වැඩි දුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

පසුගිය අවුරුද්දේ මෙම රිජිට් ටයර් කම්හලට මුල්ගල තබනු ලැබුවා. එහි ඉදිකිරීම්වල ප්‍රගතිය පරීක්ෂා කර බැලීමටයි අද මම මෙහි පැමිණියේ. මේ වගේ සමාගම්වල ප්‍රගතිය මත ලංකාවේ අනාගතය රැදී පවතිනවා. අපට අළුත් රැකියා බිහිකරන්නට අවස්ථාව ලැබෙන්නේ මෙවැනි ව්‍යාපාර නිසයි. ලංකාවට අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්නේත් මෙවැනි ව්‍යාපාර නිසායි. එමනිසා විදේශ වෙළඳ පොළට ප්‍රවිෂ්ඨව වෙළෙඳ පොළත් අත්පත් කරගැනීමට අවස්ථාව ලැබෙන මෙම ව්‍යාපාරය පිළිබද මම අදහස් දක්වන්නට කැමතියි.

ලංකාව එක්දාස් නවසිය ගණන්වල සිට ටයර් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන තිබෙනවා. මෙවැනි කර්මාන්ත ආරම්භ කරන්නට එදා අධ්‍යාපන ඇමති හැටියටත්, කර්මාන්ත ඇමති හැටියටත් මට අවස්ථාව ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.

ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ අළුත් ආර්ථික වැඩපිළිවෙලක් අපි ආරම්භ කොට තිබෙනවා. මම ඊයේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට සහභාගි වූණා. ඒ මධ්‍යම අධිවේගී මාර්ගය කේන්ද්‍ර කොට ගෙන නව වෙළෙඳ කලාප කිහිපයක් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහනුවර එක කොටසත්. හම්බන්තොට එක කොටසත්, හම්බන්තොට වරායත්, ගුවන් තොටුපලත් ක්‍රියාත්මක කිරීමෙන් පසු එම ප්‍රදේශයේ වෙළඳ කලාප වල වැඩත් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඇති කෙරෙන වෙළෙඳ කලාපයේ පළමු ආයෝජනය ලෙස මෙම ටයර් කර්මාන්ත ශාලාව හදුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම මිල්ලනියේත් තවත් වෙළෙඳ කලාපයක් ආරම්භ කෙරෙනවා. අපි පළමුවෙන්ම කළේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. කර්මාන්ත කලාපවලට අවශ්‍ය පාරවල් විදුලිය, විදුලි සංදේශ හා ජලය වැනි මූලික අවශ්‍යතා වලට අපි මුලින්ම මුදල් සෙයාගත්තා. ඉන්පසුව දැන් තමයි කර්මාන්ත ශාලා ආරම්භ කරගෙන යන්නේ. මෙවැනි ආයෝජන අවස්ථා වර්ධනය වීමත් සමග මේ ප්‍රදේශයෙන් විශාල විපර්යාසයකට භාජනය වෙනවා.

කාර්මිකකරණයක් ඇතිවෙනවා. බියගම, කටුනායක හා රත්මලාන වැනි ප්‍රදේශයන්හි ඇතිවූ වෙනස වගේම විශාල විපර්යාසයක්. අපට අවශ්‍ය වුණේ ණය බරින් මිරිකී තිබුණු ආර්ථිකය වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමටයි. රැකියා හා ආදායම් මාර්ග බිහි කරන්නට හැකිවන්නේ එවැනි ශක්තිමත් ආර්ථිකයකින් පමණයි. මෙම ටයර් නිෂ්පාදන ව්‍යාපෘතියෙන් පමණක් 3000කට පමණ රැකියා අවස්ථා උදාවෙනවා. විශේෂයෙන්ම අපොස (සා.පෙළ) උසස් පෙළ හා කාර්මික හා තාක්ෂණ දැනුමත් ඇති මේ ප්‍රදේශවල තරුණ තරුණියන්ට මේ මගින් රැකියා ලබා ගත හැකියි. අපි මේ රටේ පාසැල් අධ්‍යාපනය අවුරුදු 13ක් අනිවාර්ය කිරීමට සැලසුම් කළේ එම අරමුණ ඇතිවයි.

එදා අපි හිතුවා අපට තිබුණු ණය බරින් රටේ ආර්ථිකය කඩා වැටෙයි කියලා. අපට ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ ප්‍රශ්න තිබුණත් අපි ඒවාට මුහුණ දීලා තිබෙනවා. ගංවතුර, සුළි සුළං වැනි ස්වාභාවික දේශගුණික විපත් නිසා අපට ප්‍රශ්න ඇතිවුණා.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණ වගේම අපේ ආරිථිකයත් කඩා වැටේවි කියලා සමහරු සිතුවා. එමගින් ජාතික ආර්ථිකයට පහරක් වැදුණා. මම ඒක පිළිගන්නවා. දැන් ඒ තත්වයටත් මුහුණ දීලා බඩු මිලත් ක්‍රම ක්‍රමයෙන් අඩුකරගෙන යන්නට අපි කටයුතු කරමින් සිටිනවා. අපි දැන් ඉන්නේ වැදගත් කාල පරිච්ඡේදයකයි. අපි රට ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා ජනතාවගේ සහාය ලැබිය යුතුයි. ගාල්ල ප්‍රදේශයේ විශාල සංචාරක කලාප තුනක් ඇතිකිරීමේ ප්‍රතිඵල මේ ප්‍රදේශයටත් හිමි වෙනවා. අපි එතැනින් නතරවන්නේ නැහැ. එම දියුණුව, සංවර්ධනය නුවර සිට ත්‍රිකුණාමලය තෙක් ගෙනයාම ඊළඟ පියවරයි. වියලි කලාපය රජරටින් යලි සංවර්ධනය කිරීමයි උතුරේ කඩා වැටී ඇති ආර්ථිකයට යළි ගොඩ නැංවීමයි.

අපට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. රට දියුණු කිරීමට විශාල සටනක් කිරීමට සිදුව තිබෙනවා. ඒ සටනින් අපි පසු බසින්නේ නැහැ. මට පැහැදිලිව එකක් කිව හැකියි. ඒ සටනින් අපි ජයග්‍රහණය කොට මේ ශ්‍රී ලංකාවේ ජනතාවට යහපත් අනාගතයක් උදාකර දෙනවා. එම නිසා මේ අවස්ථාවට පැමිණි දේශීය හා විදේශීය ආයෝජකයින්ට ස්තුති කරන අතරම නියමිත කාල සටහනට අනුව ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යාම පිළිබදව ප්‍රශංසා කරනවා. ඒ වගේම මෙවැනි අනිකුත් ව්‍යාපෘතිවල ප්‍රගතියක් නිරීක්ෂණය කොට එම වැඩ කටයුතු තව දුරටත් කඩිනම් කොට අප බලාපොරොත්තු වන ආර්ථික ප්‍රගතිය ඉක්මනින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව මා මෙහිදී සඳහන් කරන්නට කැමතියි.