ගංවතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්

Share

මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය, කිරම ඔය, කැලණි, කළු, බෙන්තර, ගිං, නිල්වලා ඇතුළු ගංගා ආශ්‍රිත ජනතාවට ගංවතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

 

මේ අතර ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනය කර ඇත.

එය හෙට (16) දින වනවිට දකුණු බෙංගාල බොක්ක දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුළ උතුරට බරව ඊසාන දෙසට හැරී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වැසි ඇතිවන අවස්ථාවල දී ක්ෂණිකව සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.0-2.5 ක් පමණ ඉහළ යා හෙයින් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන් වේ.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එසේම දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධිවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සදහන් කර ඇත.

පවතින කාලගුණ තත්වය පිළිදව නිසි අවධානයක් යොමු කරන ලෙසත් ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීට කටයුතු කල යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

පවතින කාලගුණ තත්වය හේතුවෙන්  දිවයින හරහා හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල  ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.

ඔබ ජීවත්වන ප්‍රදේශය ගංවතුර, නායයාම් වැනි ආපදා අවදානම් බහුල ප්‍රදේශයක් නම් ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව අවධාන යොමු කළ යුතුය.

විශේෂයෙන්ම ගංගා ජල මට්ටමේ ක්ෂණිකව ඉහළ යා නම් හෝ  ගංගාවල පිටාර මට්ටම ඉක්මවා ගංවතුර අවධානමක් ඇති වේ නම් ඒ පිළිබදව සැළකිල්ලක් දක්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

විශේෂයෙන්ම නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබදව සැළකිලිමත් විය යුතුය.

පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වාටවල්, හා දුරකථන කුලුණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙරපැවති උල්පත් බොරවීම අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේයි.

ජනතාවට පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව විමසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දී ඇත.

Read more

Local News