ජපන් ව්‍යාපාරික දූත පිරිසක් හෙට දිවයිනට

Share

ශ්‍රි ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර අවස්ථා සොයා බැලීම සඳහා ජපානයේ ප්‍රධානතම සමාගම් 70ක් සමඟ ජපාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ‍තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් හෙට (24) මෙරටට පැමිණෙති.

ජපාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ‍තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නිල වශයෙන් මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි. එසේම මෙවැනි ඉහළ පෙළේ ජපන් ව්‍යාපාරික දූත පිරිසක් එකවර මෙරටට පැමිණෙන්නේ වසර 40කට පසුවය.

මෙම දූත පිරිස සමඟ ජපානයේ ප්‍රධානතම සමාගම් වන ටොයෝටා, හොන්ඩා, මිටුසුබිෂි, සුමිතොමෝ, මිටුසුයි, ජපන් ගුවන් සමාගම, ( JAL), නැඟෙනහිර බැංකුව, ටෝකියෝ මිට්සුබිෂි බැංකුව, නිප්පෝන් ගුවන් සමාගම, ( ANA ) නිප්පෝන් වානේ සමාගම (Nippon Steel), ඉටෝචු මරුබෙනි , ටොඩා යන සමාගම් ද මෙරටට පැමිණේ.

මෙම දූත පිරිස සිය සංචාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමඟ සාකච්ජා කරන අතර අගමැතිවරයා සහ අනෙකුත් ඇමතිවරුන් සහභාගී වන විශේෂ කර්මාන්ත සමුළුවකට ද සහභාගිවීමට නියමිතය. මෙම දූත පිරිස සිය දෙදින නිල සංචාරය අතරතුර දී මෙරට කර්මාන්ත නිරීක්ෂණය කිරීම සහ ඓතිහාසික ගාලු කොටුව නැරඹීමට ද නියමිතය.

Read more

Local News