ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන චීනය ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් ගණන අදවන විට ලක්ෂ 46 ඉක්මවා ඇත.

 

වාර්තාවී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ අටදහසකට අධිකයි.

මේ අතර ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් ගණන මේවනවිට චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබේ.

ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තාවීම අතින් තවමත් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාවයි.

ඒ අනුව ගතවූ පැය 24 තුළදී එරටින් නව ආසාදිතයන් විසි හයදහසකට වැඩි පිරිසක් හඳුනාගැනුණු අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 1,595ක්.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 88,000 ඉක්මවා ගොස් තිබේ.

අද වන විට තහවුරු කරගෙන ඇති ආසාදිතයන් ගණන 14 ලක්ෂ අසූ හතරදහසකට අධිකයි.

ලොව දෙවනුවට වැඩිම කොවිඩ් මරණ වාර්තාවන රට බවට පත්ව ඇති බ්‍රසීලයෙන් ඊයේ දිනයේදී අලුතින් මරණ 824ක් වාර්තාවී තිබුණි.

ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 14,817 දක්වා ඉහළ ගියේය.

වැඩිම දෛනික ආසාදිතයන් ප්‍රමාණය වාර්තා කරමින් ඊයේ එරටින් හඳුනාගත් ආසාදිතයන් ගණන 15,305ක්.

මෙවන් පසුබිමක් තුළ එරට සෞඛ්‍ය ඇමති නෙල්සන් ටීක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ ඔහු එම ඇමතිධුරයේ වැඩ භාරගෙන මසකට පමණ පසුව වීමත් විශේෂත්වයක්.

මෙක්සිකෝවේද කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ.

ඊයේ දිනයේදී එරටින් නව ආසාදිතයන් 2,409ක් හඳුනාගත් අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 257 ක්.

තම රට මේ වන විට අසීරු තත්ත්වයකට මුහුණපා සිටින බවයි මෙක්සිකෝ බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් කොවිඩ් වෛරසයෙන් යුරෝපා කලාපයේ වැඩි බලපෑම් එල්ලවී තිබූ රටවල්වල වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් තිබේ.

ගතවූ පැය 24 දී එක්සත් රාජධානියෙන් කොවිඩ් මරණ 384 ක්, ඉතාලියෙන් 242 ක්,ස්පාඤ්ඤයෙන් 138 ක් සහ ප්‍රංශයෙන් කොවිඩ් මරණ 104 ක් වාර්තා වී ඇත.

මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග ළමුන් අතර පැතිර ගිය සහ කොවිඩ් වෛරසය සමග සම්බන්ධ බවට සැක කෙරෙන කවසාකි රෝගයෙන් ප්‍රංශයේ පළමු මරණය වාර්තාවී තිබේ.

මියගොස් තිබෙන්නේ නව හැවිරිදි පිරිමි දරුවෙක්.

අප්‍රිකා මහද්වීපයේ කොවිඩ් – 19 ආසාදිතයන් ගණන මේ වන විට 75,800 ඉක්මවා තිබේ.

වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 2,570 ක්.

වෛරස වසංගතය පැතිර යමින් ඇති පසුබිමක සිම්බාබ්වේ රාජ්‍යය උග්‍ර ජල අර්බුදයකට මුහුණපා සිටියි.

රුසියාවේ වෛරස වසංගත ගැටළුව තවදුරටත් ඉහළ දමමින් ඊයේ එරටින් ආසාදිතයන් 10, 598 ක් හඳුනාගෙන තිබුණි.

ලොව තෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවන එරටින් අදවන විට තහවුරු කරගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 262, 843 ක්.

ඊයේ වාර්තාවූ මරණ 113ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 2,418 දක්වා ඉහළ ගියේය.

මේ අතර කසස්තානයේ ප්‍රධාන තෙල් කර්මාන්තශාලාවක සේවකයන් 401 ක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව වාර්තා වනවා.

පසුගිය බ්‍රහස්පතින්දා වන විට එම කම්හලෙන් හඳුනාගෙන තිබුණේ ආසාදිතයන් 17 දෙනෙක් පමණක් වන අතර සිකුරාදා වන විට එම සංඛ්‍යාව 401 දක්වා ඉහළ ගොස් තිබුණි.

අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනයේ කොවිඩ් – 19 ආසාදිතයන් 3,787 දෙනෙක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 104ක්.

අද වන විට චීනයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණනද අභිබවමින් අද වන විට එරටින් ආසාදිතයන් 85,784 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් වෙතත් වෛරස ව්‍යාප්තිය ඇරඹි චීනයෙන් ඊයේ දිනයේදී  ආසාදිතයන් 8දෙනෙකු හඳුනාගෙන තිබුණි.

Read more

Local News