ඉන්ධන අවභාවිතය, අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් වේගවත් කරයි – අර්ජුන රණතුංග මහතා

Share

ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත ඊයේ (22) රාත්‍රියේ සිදු කළ හදිසි වැටලීමකින් පසුව නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තබනා ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා එහි පෙට්‍රල් සාම්පල මේ වන විට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල මත ඉදිරි පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටී.

මේ අතර කොලොන්නාවේ සිට කොළඹ ගලධාරී හෝටලය වෙත දැවිතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි විමර්ශන අංශ‍‍ය සිය භාරයට ගත් බවුසරයේ වූ ටැංකි කිහිපයක දැවිතෙල් තත්ත්වයෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලදී තවහවුරු වී තිබේ.

ඉන්ධන කලවම් කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම ඇති පොලිසියට හෝ 0728870624 සහ 0777748417 යන දුරකථන අංකවලින් හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read more

Local News