මුළු දිවයිනටම අද සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Share

අද(26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

 

ඒ අනුව දින 66 කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ද අද දින සිට ඇඳිරි නීතිය ලිහිල් වෙනු ඇත.

නමුත් කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අද සිට අවසර හිමි වෙයි.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව තබා ගැනීම ඊට අයත්.

රාජ්‍ය,පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව, කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ඒ ඒ ආයතනය සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කොටගෙන තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇඳිරි නීතිය පැනවූ මාර්තු 20 වනදා සිට මේ දක්වා සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය වරින්වර ලිහිල් කෙරුණත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අඛණ්ඩව එය ක්‍රියාත්මක විය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අද සිට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයෑමට හැකිතාක් මහජනතාව කටයුතු කළ යුතු බවත් අන් සියලු දෙයට වඩා සමාජ දුරස්ථභාවයට මුල් තැන දී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එසේ නොකරන පුද්ගලයින්ට නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Read more

Local News