පාසල් ආරම්භය කිරිම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ජාවක්

Share

පාසල් ආරම්භ කිරිම සඳහා සැලැස්මක් සකස් කිරිම සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අද(26) දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

මෙම සාකච්ඡාව සඳහා ප්‍රාථමික සහ ප්‍රධාන පෙළේ පාසල් විදුහල්පතිවරුන්, විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි දිනක දී පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු දිනයක් තීරණ කර දැනුම් දීමෙන් පසු ඊට මුහුණදීම සඳහා විකල්ප කිහිපයකින් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි දී සිදුවෙයි.

එම ක්‍රමවේදය යෝජනාවලියක් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි.

අනතුරුව අමාත්‍යවරයා විසින් ලබා දෙන නිර්දේශ මත එම සැලැස්ම ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.

මේ අතර සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන උසස් පෙළ විභාග කාල සටහන සම්පූර්ණයෙන් අසත්‍යයක් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙන වෙත අවධාරණය කරන බවයි.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවන සුළු මෙවන් පුවත් පල කිරීම පිළිබඳ කණගාටුව පල කරන බව ද ඔහු සඳහන් කළේය.

අදාළ සාවද්‍ය පුවත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තැපැල් හා විදුලි සංදේශ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

Read more

Local News