සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් STF අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා තිබිණි.

පසුව ඔවුන් පලා ගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරින් විසින් ඊයේ(30) රාත්‍රී 8.00 ට පමණ එලුවිල, පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ‍ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු සමුද්‍රාසන්න පාර, අඟුලාන, මොරටුව යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු බාරයේ තිබී ජංගම දුරකථනයක් හා සිම් කාඩ්පතක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු අද(31) ගල්කිස්ස ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News