ගම්මන්පිලගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස කැඳවයි

Share

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

 

මෙම නඩුව අද(01) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 13 වනදා කැඳවීමට විනිසුරුවරයා නියම කළේය.

එදිනට සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් තුන්දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා විනිසුරුවරයා විසින් සිතාසි නිකුත් කරනු ලැබුවේය.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News