සයිටම් ආයතනයේ ගැටලු විසඳීමට රජයෙන් තිරසාර විසඳුමක්

Share

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු විසඳීම සඳහා රජය තිරසාර විසඳුමක් යෝජනා කරයි.

1- සයිටම් ආයතනය අහෝසි කරමින් එහි සියලුම වත්කම්, වගකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය නව රාජ්‍ය නොවන, ලාබ නොලබන (වියදම් ඉක්මවන අතිරේක ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවන) උපාධි ප්‍රදානය කරන ආයතනයකට පැවරීම. මෙම ආයතනය ආරම්භ කරන්නේ, දැනට සයිටම් ආයතනයේ සිටින අවසන් සිසුවාද, මෙම ආයතනයෙන් උපාධිය ලබාගත් පසුව ඉදිරි දිනක දී මෙම ආයතනය අවසන් කරන පදනමිනුයි. මෙය සිදු කරනු ලබන්නේ වර්තමාන කොටස්කරුවන්, ණය දෙන ආයතන සහ සයිටම් ආයතනයේ මෙහෙයුම් කටයුතු බාර ගන්නා නව ආයතනය එය නීත්‍යාණුකූලව පිළිගන්නා ආකාරයටයි.

2 – ඉහතින් සඳහන් කළ නව ආයතනයට පරිභාහිරව නව රාජ්‍ය නොවන ලාභ නොලබන උපාධි ප්‍රදානය කරන ආයතනයක් ආරම්භ කිරීම. මෙම ආයතනය 2019 වසරේ ජනවාරි මාසයේ සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ, අලුතින් සිසුන් බඳවා ගන්නා (SunSet) ආයතනයක් ලෙසයි.

3- වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූලව මෙම අයතන දෙක මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරීක්ෂණය සහිතව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙන බවට සහතික කරනු ඇත. වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් 2018 ජනවාරි 27 වනදා ගැසට් කරනු ඇත.

මෙම අයතන දෙකම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතේ ආරම්භ කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ සයිටම් ආයතනය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එය 2017 දෙසැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වෙයි. මෙම ගිවිසුම සඳහා නීතිපතිවරයා විසින් අනුමැතිය ලබාදී තිබේ.

මෙහිදී රජයට කිසිදු අමතර වැය බරක් නොමැතිව නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරනු ඇත.

මෙම විසඳුම පිළිබඳ මෝසමක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙස රජය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ ඊළඟ නඩු වාරය යෙදෙන 2018 ජනවාරි 29 වනදා මෙය සළකා බැලෙනු ඇත.

මෙම විසඳුම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාළ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවන් ලබාදීමට රජය සූදානමින් සිටින නිසා මෙම විසඳුමට එරෙහිව උද්ඝෝෂණය කිරීමට පෙර එම පාර්ශවයන් විසඳුම පිළිබඳව තවදුරටත් පුළුල්ව සාකච්ඡා කිරීම වැදගත් යැයි රජය විශ්වාස කරයි.

නීතිඥ සුදර්ශන වික්‍රමසිංහ ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Read more

Local News