ඇසළ පුර පසළොස්වක පොහොය අදයි.
භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පොහෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝ වැසි බෞද්ධ ජනතාවට වැදගත්වේ.
සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදීය.
වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි පොහොය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්වේ.
සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි අභිනික්මන් කළේ ද අද වැනි පුන් පොහෝ දිනකයි.
ලෝ සතුන් සසර දුකින් මුදා ගනු පිණිස බුදුරාජාණන් වහන්ගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව සඳහන්ය.
කොණ්ඩඤ්ඤ හිමියන් ධර්මය අවබෝධ කර ගැනීමෙන් පසු සංඝ ශාසනයේ ආරම්භය සිදු වූ දිනය ලෙස ද මෙම පොහෝ දිනය සැළකෙනු ඇත.
සිද්ධාර්ථ කුමරුගේ පුතණුවන් වන රාහුල කුමරුගේ උපත සිදුවීමත්, බුදු රජාණන් වහන්සේ තීර්ථකයනගේ මානය බිඳීම සඳහා යමා මහ පෙළහරපෑමත් සිදුව තිබෙන්නේ අද වැනි දිනකදී බව සඳහන් වේ.
බුද්ධ චරිතයට සම්බන්ධ සිදුවීම්වලට අමතරව ඇසළ පුන් පෝය දිනයෙහි ශාසන ඉතිහාසයේ ද වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇත.
බුදු රජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුවේ ද අද වැනි දිනකදීය.
බුද්ධ වර්ෂ 236 දී පළමු ලාංකික බෞද්ධ භික්ෂුව වූ අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරු 56 දෙනා මහන උපසම්පදාව සිදුවීම ද දෙවැනි පෑතිස්ස රජු විසින් ඛණ්ඨක චෛත්‍යවටා ඉදිකළ අටසැට ලෙන් පූජාව හා මහ රහතන් වහන්සේලා සැටදෙනමක් ප්‍රථමවරට ලංකාදීපයේ වස් සමාදන්වීම ද සිදුව ඇත්තේ, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.
දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහා සෑරදුන් ඉදිකිරීමට මුල්ගල තබා ඇත්තේ ද අද වැනි පොහෝ දිනකදීයි.