Tuesday, March 19, 2024.

වාහන භාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට මොකද වෙන්නේ ?

Share

අමාත්‍ය ධූර දරණ සමයේ භාවිත කළ වාහන මෙතෙක් අමාත්‍යාංශ වෙත භාර නොදී සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, හිටපු මැති ඇමතිවරුන් භාර නොදි සන්තකයේ තබා ගෙන සිටින වාහන 11 ක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දුන් උපදෙස්වලට අනුව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවය.

අදාළ කොට්ඨාස භාර නිලධාරීන්ට සහ සියලු පොලිස් ස්ථාන වෙත මේ පිළිබඳ උපදෙස් ලබා දී ඇති බව ද ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙවර මැතිවරණයට තරග කරන හිටපු මැති ඇමතිවරුන් සතු වාහන 13 ක් එලෙස භාර දී නොමැති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ඉන් වාහන 2 ක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු අදාළ අමාත්‍යාංශ්‍යට භාර දී ඇති බව ද පොලීසිය පැවසුවේ ය.

මේ අතර අදාළ වාහන ලබා ගැනීම සහ ගත යුතු ඉදිරි ක්‍රියාමර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් කොමිසමට කැඳවා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

Read more

Local News