ලුනාවේ වෙඩි තැබීම සිදුකළේ පොලිස් නිලධාරින් බීමත්වද ?

Share

මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ හිසට සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

 

අදාළ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (11) කළුබෝවිල රෝහලේ දී සිදුකෙරුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ හිසට සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.

පෙරේදා රාත්‍රී 11.45ට පමණ මොරටුව ලුනාව ප්‍රදේශයේ දී අගුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වාහන යොදා මාර්ග පරීක්ෂාවක් සිදුකරනු ලැබීය.

එහිදී ත්‍රිරෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමට යාමේ දී ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිස් නිලධාරියෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ 39 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අදාළ පොලිස් නිලධාරින් බීමත්ව සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News