සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහි පෙත්සම නොවැම්බර් මස 03 වැනිදා කැඳවයි

Share

ඉකුත් යහපාලන රජය සමයේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම යළි සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව විසින් එහි අන්තර්ගත කරුණු පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 

සිංගප්පූරු සහ ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ සිංගප්පූරු හා ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවය.

ඉකුත් දිනවල රටේ උද්ගත වූ තත්ත්වය මත එම අධ්‍යයන කටයුතුවල කිසියම් පමාවක් සිදු වී ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා එම කටයුතු අවසන් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම නැවත නොවැම්බර් මස 03 වනදා කැඳවීමට නියම කළේය.

එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ  ගිවිසුම අත්සන් කිරීමේ දී ඉකුත් යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබාගෙන නොමැති බවය.

එම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් සිංගප්පූරුවට වැඩි වාසිදායක තත්ත්වයක් උද්ගත වන බව පෙන්වා දුන්  පෙත්සම්කරුවන්, ශ්‍රී ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රයට මෙන්ම වෘත්තීයවේදීන් ට ද දැඩි අගතියක් සිදු වන බවය පෙන්වා දෙයි.

මේ නිසා අදාළ ගිවිසුම අත්සන් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීරණය කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News