ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කල සැකකරුවෙකු අත්අඩංගුවට

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කල සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතාලියේ රැකියාවක් සඳහා සැකකරුට මුදල් ලබාදුන් අයෙකු එම රැකියාව නොලැබීම හේතුවෙන් කාර්යාංශයට පැමිණිලි කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් රහසිගත සිදුතළ පරීක්ෂණයකින් අනතුරුව ඊයේ (26) ගල්කිස්ස ප‍්‍රදේශයේදී මෙහි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු සිය කාර් රථයේ ජංගම විදේශ රැකියා ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එහි තිබී විදේශ ගමන් බලපත‍්‍ර 23ක්, ඉතාලි රැකියා ගිවිසුම් 9ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීද යන්න පිලිබඳව මේ වන විට කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වයි.

නීත්‍යානුකූල බලපත‍්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ රැකියා සඳහා යැවීමට කටයුතු කිරීම හා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.