මේ රටේ කිසිදු රණවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

Share

ජගත් ජයසූරිය මහතාට හෝ මේ රටේ කිසිදු හමුදාපතිවරයෙකුට, රණවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, කොළඹ කැම්බල් පිටියේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවය අමතමිනි .
“නොකිලිටි ගමනක් ජන බලය – හරි අතට”  තේමාව යටතේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් පැවැත්විණි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ශක්තිමත් කරනවා සේම සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ධීවර, රණවිරු සියලු බලවේග එක්වූ ශක්තිමත් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනගන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය උගතුන්ගෙන් මෙන්ම බද්ධිමතුන්ගෙන් සැදුම්ලත් පක්ෂයක් විය යුතුවා මෙන්ම ආගමික නායකයින්ගේ උපදෙස් සහ අනුශාසනා අනුව කටයුතු කරන, එසේම බණ්ඩාරනායක මැතිතුමා සහ මැතිණිය ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන දේශපේ‍්‍රමී, ජනතාවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනැගිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇති බවට අද ඇතැමුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට චෝදනා කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන් මග ආරම්භ නො කළේ නම් ආර්ථික සම්බාධක මෙන්ම ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනාවලට රටක් ලෙස අපට මුහුණදීමට නොහැකි වන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනාධිපති ධූරය සඳහා තෝරාගනු ලැබුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාවීම හේතුවෙන් එම සම්මුතිවාදී ආණ්ඩුවට වඩා සහයෝගීතා ගමනක් යාමට හැකිවූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවයට සහභාගීවන ලෙස සියලු මන්තී‍්‍රවරුන්ට ආරාධනාපත් යොමු කළ විට එක්සත් ජාතික පක්ෂය සමග සිටින තාක් කල් පක්ෂය සමග එක් නොවන බවට නිකුත් කර තිබූ ප‍්‍රවෘත්ති නිවේදනය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ රටක් අභියෝගවලට මුහුණදුන් විට එම අභියෝගවලින් රට නිදහස් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන, ජාති, ආගම්, භාෂා බේදයකින් තොරව සියලුදෙනා එක්වූ බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි සාධක රැසක් ඇති බවයි.

දූෂණය, වංචාව, අක‍්‍රමිකතාවය සහ පවුල්වාදය දේශපාලනයෙන් ඉවත්විය යුතු අතර බලය, බලය ශක්තිමත් කිරීම සඳහා නොව රටේ සහ ජනතාවගේ යහපත සඳහා භාවිතා කළයුතු බවත්, බලයට පත්වීම සහ බලයෙන් ඉවත්වීම සෑම විටම ජනතා අභිලාෂය අනුව සිදුවිය යුතු බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මන්තී‍්‍රවරයෙක්, ජනාධිපතිවරයෙක් කිසිසේත් බලයේ සාධකය නොවන අතර බලයේ ප‍්‍රධාන සාධකය පොදු මහජනතාව බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා පැමිණියේ දුෂ්කර ගමනක් බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා එය අනාගත ජයග‍්‍රහණය කරා සූදානම් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ඒකරාශිවන ලෙස තමා සියලු පාක්ෂිකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම මැති ඇමතිවරු සහ පාක්ෂිකයින් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

Read more

Local News