රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

Share

තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය.

ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක් ගෙවන ලෙස ද, අධිකරණය විසින් පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතාට නියෝග කර තිබේ.

සම්පත් අබේකෝන් සහ මොහොමඩ් ලෆාර් යන මහත්වරුන්ගෙන් සමන්විත බස්නාහිර පළාත් සිවිල් අභියාචනාමහාධිකරණය විසින් මෙම තීන්දුව අද (21) ප්‍රකාශයට පත් කළහ.

පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිවිල් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ සමගි ජන බලවේගය පක්ෂය ස්ථාපිත කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඉකුත් ජනවාරි මස ගනු ලැබූ තීන්දුවකට අනුව බවය.

ඒ අනුව සමගි ජන බලවේගය ස්ථාපිත කිරීමේදී තමා ඇතුළු පිරිස කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බවත් ඒ අනුව තමන් ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන තිබෙන තීරණය නීතිවිරෝධී බවත් පවසමින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉකුත්දා නඩුවක් ගොනු කළ බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය තමන් ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් එසේ ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය එළැඹුණු තීරණය නීතියට පටහැනි බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිවිල් අභියාචනා-මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව තමන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය විභාග කිරීමට අවසර ලබා දී සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගය නිකුත් කරන ලෙසද ඒ මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා-මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

එහෙත් එම පෙත්සම ඉකුත්දා සලකා බැලූ අවස්ථාවේ දී මෙම ඉල්ලීමට විරුද්ධව කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සමගි ජන බලවේගය නැමැති පක්ෂයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදී තිබු බවට පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කරන කරුණු මුළුමනින්ම සාවද්‍ය බවත් එවැනි පක්ෂයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු අවස්ථාවක අනුමැතිය ලබාදී නොතිබූ බව සඳහන් කළේය.

පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් මේ වන විටත් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන එම පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍ර භාර දී ඇති බැවින් ඔවුන්ට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ පෙන්වා දී තිබුණි.

ඒ අනුව පෙත්සම්කරු ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසයි එම නීතිඥවරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

Read more

Local News