සත්ව ප්ලවාංග වගාව සඳහා ජීවි ආහාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් – ධීවර අමාත්‍යාංශයේ සහය

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ මේ වනවිට මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිතව විසිතුරු මත්ස්‍ය වගාව පුළුල් අන්දමින් සිදු කෙරෙන බැවින් එම මිරිදිය විසිතුරු මසුන්ට අවශ්‍ය ආහාරයක් වන සත්ව ප්ලවාංග වගාව සඳහා ජීවි ආහාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමටයි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති අතර ඊට සහභාගි වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේ, මේ සඳහා කැමැත්ත පළ කරන ධීවර පවුල්වලට මෙන්ම වෙනත් බාහිර පුද්ගලයින්ට ඊට අවස්ථාව ලබා දීමට පියවර ගන්නා ලෙසයි.
විසිතුරු මත්ස්‍ය ආහාර වශයෙන් යොදාගන්නා සත්ව ප්ලවාංගයක් වන ඩැෆ්නියා නැමැති ජීවි ආහාර විශේෂය වගා කිරීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා ඉදිරිපත් වන්නන්හට නිෂ්පාදන වියමෙන් සියයට 50ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට එම අධිකාරිය කටයුතු යොදා ඇත. ඉතිරි සියයට 50 පාර්ශ්වකරුවන් විසින් දැරිය යුතුය.
ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සහ ජලජීවි වගාවේ සංවර්ධනය සඳහා මෙම පියවර ගෙන ඇති අතර විශේෂයෙන් අපනයන ආදායම වැඩිකිරීමටත්, විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහාත් මෙම සත්ව ප්ලවාංග නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.
2017 වසරේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල අපනයන ආදායමක් උපයා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට හැකි විය. ඒ අනුව උපයා ගන්නා ලද මුදල රුපියල් මිලියන 1678කි. 2018 වසරේදී මීට වඩා අපනයන ආදායමක් ලබා ගැනීමට නම් මෙම කර්මාන්තය දිරිගැන්වීමේ ව්‍යාපෘති ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරින්හට උපදෙස් දෙනු ලැබීය.
පහත විඩියෝව නරඹන්න.

Read more

Local News