සැක සහිත කසළ තේ බහලුමක් රේගු භාරයට

Share

තවත් කසළ තේ බහලුමක් ඉරාකයට අපනයනය කිරීමට සැලසුම් කර තිබියදී රේගුව විසින් රඳවා තබාගෙන තිබේ.

 

අදාළ බහලුම කුරුඳු අපනයනය කරන බව පවසමින් පසුගිය 17 වන දින ඉරාකයට අපනයනය කිරීම සඳහා සැලසුම් කර තිබු බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ බහලුම සැක සහිත බැවින් එය රඳවා තබාගැනීමට නියෝග කර තිබේ.

අදාළ බහලුම තුළ කසළ තේ අඩංගු බවට සැක කරන බැවින් එම බහලුම අයත් අපනයනකරුට සහ වාප්පු ලිපිකරුට රේගුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔවුන් මෙතෙක් රේගුව හමුවේ පෙනී සිට නොමැති අතර නිවෙස්වලින් ද බැහැරව ගොස් ඇති බව රේගුව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන්ට ලබන 04 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් මේ වන විට හඳුනාගෙන ඇති මහා පරිමාණ කසළ තේ ජාවාරමේ තොරතුරුවලට අනුව කසළ තේ බහලුම් 252ක් ඉරාකයට යවා ඇති බව අනාවරණය වී ඇත.

අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර මේ වන විට රේගු භාරයේ පවතින බහලුම ද අදාළ කසළ තේ ජාවාරමට සම්බන්ධතා පවතින්නේ ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News