හෙරොයින් ජාවාරමට අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර

Share

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පෙරේදා (31) අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා දින 07ක් රඳවා තබා ගැනීමට අධිකරණයෙන් පොලීසියට අවසර ලබා දී තිබේ.

 

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අවසරය ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 750ක නීත්‍යානුකූල නොවන මුදලක් කොළඹ ප්‍රදේශයේ පුද්ගලික බැංකුවකින් ලබාගැනීම සදහා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු උත්සාහ දරමින් සිටින බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබුණි.

ඒ අනුව පෙරේදා (31) පස්වරුවේ රාජගිරිය ප්‍රදේශයේ දී අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 9ක් හමුවූ බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී ඔවුන් හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (01) බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව, පන්නිපිටිය, පිටකෝට්ටේ සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන්ගෙන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ බැංකු ගිණුමට විදේශීය රටකින් රුපියල් ලක්ෂ 750ක් ලැබී ඇති බවට අනාවරණය වී තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන්ට අයත් නොවන වෙනත් පුද්ගලයින් පස් දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත රුපියල් කෝටි 31කට අධික මුදලක් සහ අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ 69,000ක මුදලක් විදෙස් රටවලින් ලැබී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Read more

Local News