ලලිත් වීරතුංග මහතාට විදේශගතවීමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Share

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීම සඳහා අවසර දෙන මෙන් කෙරුණු ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.

ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළ ඔහුගේ නීතිඥවරු කියා සිටියේ මාර්තු මස 25 දා සිට අප්‍රේල් මස 10 වනදා දක්වා කාලසීමාව තුළ තම සේවාදායකයාට ඕස්ට්‍රේලියාවේ පුද්ගලික සංචාරයක නිරතවීමට අවශ්‍යව ඇති බවය.

ඊට අමතරව තම සේවාදායකයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන බැවින් ඊට අදාළ දේශන සඳහා අප්‍රේල් මස 25 දා සිට අප්‍රේල් මස 31 දක්වා කාලසීමාව තුළ කටාර් රාජ්‍ය සංචාරය කිරීමට අවශ්‍යව ඇති බව සදහන් කර තිබුණි.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන මෙන්ද ලලිත් වීරතුංග මහතාගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළේය. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වයක් නොමැති බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය හේතුන් මත ඔහු අධිකරණය විසින් ඇප ලබා ගෙන තිබියදී වෙනත් කාරණා සඳහා විදේශගත වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ කුලතුංග විනිසුරුවරයා ඉල්ලුම්කරුට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය හිමි නොවන බැවින් ඔහුට විදේශගත වීම සඳහා අයිතිවාසිකමක් නොමැති බව ද කියා සිටියේය.

Read more

Local News