ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සිදු කිරීමත් සමඟ අද මේ රට පාලනය කරන්නේ රටේ ජනතාවයි

Share

ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (29) මාතලේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ප‍්‍රකාශ කළේ,

රට බෙදන සහ රට විකුණන බවට අද චෝදනා නගන්නේ ඉතිහාසයේ මේ රට පාලනය කළ කිසිදු රජකෙනෙක් හෝ ජනාධිපතිවරයෙක් සිදු නොකළ අන්දමින් රටේම කොටසක් සින්නක්කරව විදේශ රටකට පවරාදීමට සැලසුම් සකස්කළ අය වීම කණගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පවසයි.

කොළඹ වරාය නගරයට අක්කර 240 ක් සින්නක්කරව චීනයට පවරාදීමට සැලසුම් සකස්කළ අන්දම සහ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි අක්කර 6 ක භූමිය සින්නක්කරව ෂැංගි‍්‍රල්ලා හෝටල් සමාගමට පවරාදුන් අන්දම අද ඔවුන්ට අමතක වී ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.

රතුපස්වල වතුර ඉල්ලා හැඬු ජනතාවට වෙඩි තැබුවා සේම කටුනායක කම්කරු අයිතිවාසිකම් ඉල්ලු කම්කරුවන්ට වෙඩි තබා මරා දැම්මා සේම කොළොන්නාවට කුණු ගේන්නට එපා කියද්දි ඔවුන්ට තුවක්කුව දිගුකර ජීවිත ගණනාවක් විනාශවන තුරු කුණු කන්ද අහස උසට ගොඩනැගුවේ පැවති රජය බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

වසර 10 ක් තිස්සේ ලබාගත් රුපියල් ටි‍්‍රලියන 10ක් වන විදේශ ණය ප‍්‍රමාණයෙන් මුදල් අමාත්‍යාංශයේ ලිපි ලේඛනවල සටහන්ව ඇත්තේ රුපියල් ටි‍්‍රලියන 01 ක් පමණක් වන අතර, ඉතිරි මුදලට සිදු වූ දෙයක් නොමැති බවට තමා පසුගියදා කළ ප‍්‍රකාශයට ද පිළිතුරු දෙමින්, ජනාධිපති ඇමරිකන් ඩොලර් ටි‍්‍රලියන් ගණනක් සඳහන් කළ බවට, හිටපු නායකයා කළ ප‍්‍රකාශයද සිහිපත් කළ ජනාධිපතිතුමා පැවසූවේ තමන් එම ප‍්‍රකාශය නිකුත් කළේ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් වාර්තා අනුව ඉතා වගකීමෙන් යුතුව බවයි.

ඇතැමුන් සේ තමා සැමදා ජනාධිපති ධූරයේ රැඳී සිටීමට ව්‍යවස්ථාව සකස් කර නොගන්නා අතර මේ රට උගත් තරුණ පරපුරට භාරදීමට සූදානම් කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සිදු කිරීමත් සමග අද මේ රට පාලනය කරන්නේ රජෙක් හෝ ජනාධිපතිවරයෙක් නොව රටේ ජනතාව විසින් බව ද කියා සිටියේය.

Read more

Local News