රන්ජන්ට එරෙහි පැමිණිල්ලේ වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ වාචික දේශන අද(24) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණි.

 

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම වාචික දේශන ඉදිරිපත් කිරීම සිදුකෙරුණි.

මෙහිදී වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් වාචික දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සඳහා නියම කළ යුතු දඬුවම් පිළිබඳව ව්‍යවස්ථාදායකය විසින් නිශ්චිත නීතියක් නිර්මාණය කර නොමැති බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට විභාග කිරීමට බලය ලැබී තිබෙන්නේ එම අධිකරණයට හෝ ඒ විනිසුරුවරයෙකුට සිදුකළ සෘජු අපහාසයක් පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාගේ ප්‍රශ්නගත ප්‍රකාශය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ එහි විනිසුරුවරයෙකු පිළිබඳව කිසිවක් සඳහන් නොමැති බව කියා සිටියේය.

මේ හේතුවෙන් මෙම පැමිණිල්ල විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වගඋත්තරකරු සිදුකර තිබෙන්නේ පොදු ප්‍රකාශයක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මෙම නඩුවට පාදක වන ප්‍රකාශය හරහා එවක සිටි අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම මිස විනිසුරුවරු විවේචනය කිරීම ඔහුගේ අරමුණ නොවූ බව ද සඳහන් කර සිටියේය.

ඒ අනුව වගඋත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහි චෝදනා කිසිදු ආකාරයකින් ඔප්පු වීමක් සිදුවී නොමැති හෙයින් ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලින් නිදහස් කරන ලෙසයි ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා සිය දේශනය අවසන් කරමින් අධිකරණය ඉල්ලා සිටියේ.

ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට දිනට කල් දැමුණු අතර හෙට දින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News