මේ ඇරැඹී තිබෙන්නේ රටේ සංවර්ධනයේ නව යුගයයි – ඇමති ප්‍රසන්න

Share

ගෝඨාභය-මහින්ද සුසංයෝගයෙන් සැදුණු වත්මන් ආණ්ඩුව යටතේ රට දෙකඩ කිරීමට කිසිවකුට ඉඩ නොලැබෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

 

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මිනුවන්ගොඩ, උඩුගම්පොළ පසුගියදා පැවති ආසන ශාඛා සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

‘පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා. පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරයෙක් එම කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

විග්නේශ්වරන් මන්ත්‍රීවරයා රටට අහිතකර ප්‍රකාශයක් කර ඇත්නම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතුයි. ඒ ගැන තර්කයක් නෑ. හැබැයි යහපාලන ආණ්ඩුව මේ රටේ බෙදුම්වාදය පෝෂණය කළ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේදී මේ වගේ සිද්ධි ගැන කට පියාගෙන සිටි අය අද විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය හරහා වාසි ලබා ගන්න උත්සාහ කරනවා.

මේ රටේ ජනතාව ඒ සුසංයෝගය නැවත බලයට පත් කළේ රටේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව පිළිබඳ සිතලයි. ඒ නිසා විග්නේශ්වරන්ලා කොතරම් දැඟලුවත් ඔවුන්ට ඔවුන්ගේ රට බෙදීමේ සිහින ඉටු කර ගන්න කිසිදු ඉඩක් ලැබෙන්නේ නෑ.

මේ ආණ්ඩුව නැවත රට සංවර්ධනය කිරීමේ සංග්‍රාමය ආරම්භ කළා. මේ වන විට නතරව තිබෙන සංවර්ධන ව්‍යාපෘති රැසක් යළි අරඹන්න කටයුතු කරමින් තිබෙනවා. කොවිඩ්-19 හේතුවෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවන්නනත් අප කටයුතු කරනවා. 2015ට පෙර වැඩ බිමක්ව පැවති රට යහපාලන ආණ්ඩුව මුඩු බිමක් කළා. මේ ඇරැඹී තිබෙන්නේ රටේ සංවර්ධනයේ නව යුගයයි.‘

Read more

Local News